
ප්‍රසාංගික නර්තන යනු මොනවා ද යන්න පිළිබඳව කිසියම් අවබෝධයක් ඔබට මේ වන විට ලැබී ඇත. එසේම නූතන ප්‍රසංග වේදිකාවේදීත්, රුපවාහිනී වැනි ප්‍රදර්ශන මාධ්‍ය මගිනුත් මෙවැනි ප්‍රසංගික නර්තන අංග නැරඹීමට ඔබට අවස්‌ථාවක් ලැබෙන්නට ඇත.
මෙවැනි නර්තනයක් රස විඳීමේදී අපේ අවධානයට ගත යුතු කරුණු මොනවා ද යන්න අපි මීළඟට සලකා බලමු.
අපි දකින සෑම ප්‍රසාංගික නර්තනයක්‌ම සැබැ ප්‍රසාංගික ගුණයෙන් යුක්‌ත වූ කලා කෘතීන් නොවේ. ප්‍රසාංගික ගුණයෙන් යුක්‌තවීම යනු, ඒ තුළ කවර තරමකට හෝ කලාත්මක වටිනාකමක් ද පැවතිය යුතු බවයි. ප්‍රසංගික වේදිකාවේ හෝ රූපවාහිනී තිරයේ ඔබ දකින සෑම ප්‍රසංගික අංගයක්‌ම සමාන වටිනා කමකින් යුත් "කලාකෘති" දැයි ඔබම සිතා බලන්න. ප්‍රසංගික නර්තනයක් යනු කවර හෝ ගීතයකට අනුව මොනවා හෝ චලන කිහිපයක් ඉදිරිපත් කිරීමම නොවේ. එය ප්‍රසාංගික වන්නේ විධිමත් ලෙසත් මනා සංයමයකින් යුක්‌තව ඉදිරිපත් කිරීම මගිනි.
තාකෂණික දියුණුවත්, අන්තර්ජාතික සම්බන්ධතාත් හේතු කොට ගෙන ලෝකයේ කවර රටකට වුවද හුදකලාව පැවතීමට හැකියාවක් නැත. එක් එක් සංස්‌කෘතීන් සම් මිශ්‍රණය වේ. ඒවා විවිධ ජන කොටස් අතරේ පැතිර යයි. ඇතැම් කොටස් ඒවා බැහැර කරති. තවත් කොටසක් ඒවා ඉතා කැමැත්තෙන් වැළඳ ගනිති.
නූතන ප්‍රසාංගික නර්තන අංගයන් ද එකී සංස්‌කෘතක ප්‍රවාහයට හසුව ඇති බව පෙනේ. එව වැළැක්‌වමට අපට හැකියාවක් නැත. නමුත් අප විචාරවත් විය යුතුය. අවිචාරයෙන් වැළඳ ගැනීමට වඩා විචාරශිලීව ප්‍රතික්‌ෂේප කිරීමත්. අවිචාරයෙන් ප්‍රතික්‌ෂේප කිරීමට වඩා විචාරයෙන් යුතුව වැළඳ ගැනීමත් එකසේම වැදගත් ය.
අපට ආවේනික වූ සංස්‌කෘතියක් ඇත. සභ්‍යත්වයක් ඇත. සාර ධර්ම පද්ධතියක් ඇත. ප්‍රසංගික කලාව සංවර්ධනය විය යුත්තේ එම සාර ධර්මයන්ටත්, සංස්‌කෘතියටත්, හානියක් නොවන ආකාරයෙනි. පැරණි දේශීය නර්තන අංගයන් තුළින් අපට ලැබුණේ ගැඹුරු වින්දනයකි. එය රාගනිශ්‍රිත පහත් රුචියක් නොවේ. අවාසනාවකට මෙන් අද්‍යතන ප්‍රසාංගික කලාවේ ඇතැම් අංග සංස්‌කෘතිය පාරිහානියකට හේතු සාධකව ඇති බව පෙනේ.
විශේෂයෙන්ම මෙම තත්වය කැපී පෙනෙන රංග වස්‌ත්‍රාභරණ සහ රංග වින්‍යාසය තුළිනි. පැරණි දේශිය නර්තනවලින් අපට උරුම වූ ගැඹුරු, මට සිළුටු ආධ්‍යාත්මික වින්දනය වෙනුවට කෑ මොර ගසමින් වින්දනය ප්‍රකාශ කරන සුලු, රළුවූත්, මොටවුත් පහත් වින්දන තත්වයකට රසික කොටස් පරිවර්තනය වෙමින් සිටිති. නූතන ප්‍රසාංගික වේදිකාවල ඉදිරිපත් කරන ඊනියා සංගීත ප්‍රසංග නර්තන අංග වලින් මේ බව හොඳින් ප්‍රදර්ශනය වේ.
මහත්මා ගාන්ධි තුමා විසින් වරෙක මෙසේ ප්‍රකාශ කොට ඇත.
" ඔබේ කාමරයේ ජනෙල් කවුළු විවෘත කර තබන්න. ඉන් එන සුළඟින් ආශ්වාදය විඳින්න. නමුත් ඒ සුළඟට ඔබේ කාමරයේ ඇති දේ ගසාගෙන යන්නට ඉඩ දෙන්න එපා. "
අද්‍යතන ප්‍රසංගික නර්තන රස විඳීමේ දී එහි ගුණාත්මක ලක්‌ෂණ කවර තරමක් දුරට ආරක්‌ෂා වී ඇත්ද, යන්නත්, එහි දුර්වලතා සහ ප්‍රභලතා මොනවාද යන්නත්, පිළිබඳව හොඳින් සිතා බලන්න.
