ශාකවල ලිංගික ප්‍රජනනය
 මෙහි ප්‍රජනනයට නිර්මාණය වී තිබෙන ව්‍යූහය පුෂ්පය යි. පුෂ්ප හට ගන්නා ශාක සපුෂ්ප ශාක ලෙස හඳුන්වයි. ලිංගික ප්‍රජනනයට අවැසි ප්‍රජනක සෛල නිපදවීම පුෂ්පයේ ප්‍රධාන කාර්යය යි.

٠ පිටතින් මණි පත්‍ර ද, ඊට ඇතුළතින් වර්ණවත් දල පත්‍ර ද, දල පත්‍රවලට ඇතුළතින් රේණු (පූමාංගය)ද, ඊ ළඟට ඡායාංගය ද පිහිටයි.
٠ රේණුව පරාගධානියකින් හා සූත්‍රිකාවකින් යුක්ත වන අතර එය පුෂ්පයේ පූමාංගය වේ.
٠ ඡායාංගයේ කොටස් වන්නේ කලංකය, කීලය හා ඩිම්බ කෝෂයයි.
ඩිම්බ කෝසයේ හරස්කඩක් අන්වීක්ෂයෙන් පරික්ෂා කිරීමෙන් ඩිම්බ අක්ෂයට ඩිම්බ සම්බන්ධ වී ඇති ආකාරය දැකගත හැකිය.

ඡායාංගය හා පූමාංගය වෙන වෙනම පිහිටා ඇති පුෂ්ප ද තිබේ. ලිංග කොටස් දෙකම පිහිටා ඇති පුෂ්ප ද්විලංගික පුෂ්ප ලෙස හඳුන්වයි. (උදා :වදමල්, වැල් දොඩම්, මිරිස්)
ඡායාංගය හා පූමාංගය අතරින් එකක් පමණක් ඇති පුෂ්ප ඒකලිංගික පුෂ්ප නම් වේ. (උදා : පොල්, වට්ටක්කා, කරවිල)

මෙහි දී ඡායාංගය පමණක් ඇති විට ඡායාංගී පුෂ්ප ලෙස ද, පූමාංගය පමණක් ඇති විට පූමාංගී පුෂ්ප ලෙස ද හඳුන්වයි. ඡායාංගී හා පූමාංගී පුෂ්ප එකම ශාකයේ පිහිටන විට ඒකගෘහි ශාක ලෙස ද, වෙන වෙනම පිහිටන විට ද්විගෘහි ශාක ලෙස ද හඳුන්වයි.
(c) Shilpa Sayura Foundation 2006-2017