මිණි කිරුළ
 

නුවර එළියෙන් සැතැපුම් කිහිපයකට දුරින් වනගත පෙදෙසක්‌ ඇත. සීතා එළිය, රාවණා ඇල්ල යන ප්‍රසිද්ධ පෙදෙස්‌ පිහිටියේ ද මේ අසලය. ඉංගි්‍රසි කාරයා රට අල්ලාගත් නොබෝ කලකට පසු ලංකාව නැරඹීමේ අටියෙන් ඉංගි්‍රසි කුමාරයෙක්‌ මෙහි පැමිණියේ ය.

එතුමා ටික දිනක්‌ නුවරඑළියේ නැවතී සිටියේය. ඒ කාලය අතරතුරදී එහි සිටි නිලධාරිහු කුමාරයාට වල් අලි පෙන්වීම සදහා යටකී වනගත පෙදෙසට එතුමා කැඳවාගෙන ගියෝය. මෙසේ ගිය පිරිසට ටික දුරක්‌ යන අතර විශාල අලි රංචුවක්‌
දක්‌නට ලැබුණේය. කුමාරයා ඇතුළු පිරිස විශාල ගලක්‌ උඩට නැගී පී්‍රතියෙන් අලින් දෙස බලාගෙන සිටියාය.

අලි රංචුව සෙමෙන් සෙමෙන් ඒ පර්වත ප්‍රාන්තයටම ළඟා විය. කුමාරයා ඇතුළු නිලමක්‌කාරයෝ ඔවුන් වෙත තිබුණු කැමරාවලින් අලින්ගේ ඡායාරූප ද ගත්තෝය. එදා මේ පිරීස වන සිරි නරඹමින් තැනින් තැන ගමන් කරන විට හොඳටම ඇඳිරි වැටුණේය. පිරිස කූඩාරම් ගැසීමට උවමනා දේ ගෙන ගොස්‌ තිබුණු නිසා එදා රෑ එහි කූඩාරම් ගසාගෙන නැවතීමට සූදානම් කළේය. කුලී වැඩ සඳහා ගම්වැසියෝ කීපදෙනෙක්‌ එහි කැඳවාගෙන ගොස්‌ සිටියහ.

එදා රෑ එහි නැවතී සිටි පිරිස අතර එක්‌ තලතුනා ගම්වැසියෙක්‌ රාජකීය පිරිසෙන් අවසර ගෙන තනිවම තවත් කෙනෙකුද සමග ඒ වනයේ පිහිටි ගල්ලෙනක්‌ කරා ගියේය. තනිවම ගිය තැනැත්තා ලෙන දොර නවත්වා අනික්‌ තැනැත්තා ලෙන තුළට පිවිසියේය. ටික වේලාවකට පසු ඔවුහු රෙදි වලින් ඔතන ලද පොදියක්‌ රැගෙන එළියට ආවේය.

මහ රෑ කිරුළත් රැගෙන කූඩාරම වෙතට පැමිණි ඔහු කූඩාරම තළ තිබුණු සියලු පහන් නිවා දමන ලෙස අයැද සිටියේය. කුමාරයා එයට සතුටු වූ නමුත් පසුව එක පහනක එළිය අඩුකර තබා අනික්‌වා නිවා දැමුවේය. ඊට පසු අර මිනිහා අර පොට්‌ටනිය උනා එහි තිබුණු මිණි කිරුළක්‌ එළියට ගත්තේය. පුදුමයකි ! ඒ මිණි කිරුළේ එළියෙන් ඒ අසල පෙදෙස ඒකාලෝක විය.

ඒ කිරුළේ බැඳි මිණි රුවන් සතරේ එළිය දුටු පිරිස විස්‌මයට පත්විය. එවිට කුමාරයා ලක්‌දිව මෙපමණ අගනා වස්‌තුව ඇති බව තමා නොසිතූ බව කියා එය තමාට සිය රට ගෙන යාම පිණිස දෙන ලෙස ඉල්ලා සිටියේය. එය ගෙන ආ තැනැත්තා එහි තොරතුරු කී පසු කුමාරයා ඇතුළු පිරිස එය වහාම ගෙන ගොස්‌ තබන ලෙස කීවෝය. ඒ මිනිහා නැවත එය ගෙන ගොස්‌ තිබූ ලෙසම ලෙන තුළ තබා ආපසු පැමිණියේය.

එහි කිරුළ පමණක්‌ නොව තවත් අගනා වස්‌තුව ඇති බව ඔහු ප්‍රකාශ කළේය. මේ සිද්ධිය බලාගෙන සිටි එක්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ අවුරුදු කීපයකට පසු යථෝක්‌ත වස්‌තුව ගැනීමේ ආසාවෙන් එක්‌ දිනක්‌ රෑ තනියම ඒ ලෙන කරා ගියේය. ලෙන දොර බැඳ තිබූ තුවක්‌කුවක්‌ දැක බියෙන් ගැහී ගැහී ලෙන තුළට රිංගා ගියේය. ගියේ රෑ කාලයෙහි නිසාත් ලෙන ඇතුළ විශාල වූ නිසාත් අඳුර දැඩි විය.

පහනක්‌ ද අතේ ඇතිව ගිය පොලිස්‌ භටයා සැතපුම් කාලක්‌ පමණ දැර ගියේය. එසේ යන ඔහුට තවත් ඈත දිලිසෙන ද්‍රව්‍ය කීපයක්‌ දක්‌නට ලැබුණේය. පී්‍රතියෙන් පීනාගිය ඔහු වහ වහා ඒ ළඟටම ගියේය. එවිට ඔහුගේ නෙතට හමුවූයේ මිණි කිරුළ නොව ඔහුගේ මුහුණ බලා සිටින දිවියන් දෙදෙනෙකි.

දිළිසෙන මිණිරුවන් මෙන් ඔහු දුටුවේ දිවියන්ගේ ඇස්‌ ය. පොලිස්‌ භටයා ආපසු හැරී දුවන්නට පටන් ගත්තේය. ලෙනෙන් පිටවී ඔහුට පණ බේරාගෙන එන්ට හැකිවීම ගැන දෙවියන්ට පින් කියමින් ගෙදර ගියේය.

රාම රාවණා යුද්ධය කෙරුණේ මේ අසල දී බවත් බෝපත්තලාව යයි කියන මේ පෙදෙසේ නිදන් වස්‌තු තවත් තිබෙන බවත් විශ්වාස කරති.යුද්ධයකින් පැරද පළා ගිය රජකු විසින් මේ වටිනා භාණ්‌ඩ මෙහි තබා අරමුලින් මෙහි ගිය මිනිහාගේ පරපුරේ අයට මේවා රැක බලා ගැනීමට බාර කර ඇති බවත් කියති.

(c) Shilpa Sayura Foundation 2006-2017