ගෝඨාභය රජුගේ දෙවන පුතා මහසෙන් ය. මින්නේරිය වැව කරවන ලද්දේ ඔහු විසිනි. මේ රජුගේ කාලය ඉතා වැදගත් ඓතිහාසික සිදුවීම් කීපයක් නිසා ප්‍රසාද සංවේග ජනක බවෙන් අඩුවක් නැති වකවානුවකට අයත් ය.
මේ රජු ගැන මහාවංශයට ඇතුළත්ව ඇත්තේ කෙටි විස්‌තරයකි. ඊට එක් හේතුවක් ලෙස සැලකිය හැක්‌කේ මේ රජු අනුරාපුර මහාවිහාරයට විරුද්ධව වැඩ කළ නිසා විය හැකිය. රජු ගැන ඉතිහාසයෙහි නැති පුවත් ජනකතාවල ඇත්තේය.
ගොවිතැන හා ගවපාලනය ගැන තද උනන්දුවක් දැක්‌වූ මේ රජු වැව් හා කුඹුරු කරවීමෙන් ද ගවයන් බෝකිරීමෙන් ද රට ආහාර පානයෙන් ස්‌වයංපෝෂිත කිරීමෙහිලා නිරතව සිටියේය.
සිංහලයෝ මුල පටන්ම ගොවිතැන හා ගවපාලනය ගැන වැඩ කළ මනුෂ්‍ය වර්ගයකි. බත් හා කිරි ගිතෙල් ආදී පස්‌ගෝරස ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වූයේය. රජ ඇමැති වරු පවා ගොවිතැන හා ගවපාලනය අතපසු කළේ නැත. මහසෙන් රජතුමාට අයත් විශාල ගවපට්‌ටියක් රටිගල පෙදෙසේ තිබුණේය. ඒ ගවරැළේ සිටි ලොකු ගවයෝ තණ කෑම සඳහා පොළොන්නරුවේ මින්නේරි පෙදෙසට යාමත් එහි දවස් ගණනක් නැවතී සිට ඒමත් සිරිතක්‌ව පැවතිණ.
ගවපාලයෝ මේ ගවයින්ගේ ගමන ගැන සොයා බැලූ කල දිය හා තණ බහුල රම්‍ය පෙදෙසක් මහ වනය මැද ඇති බව දැනගත්තෝය. මහසෙන් රජතුමා වැවක් කැණවීමට සුදුසු පෙදෙසක් සොයා යන අවස්‌ථාවේ මෙම පෙදෙස ගැන අසන්නට ලැබුණේය. ඒ පෙදෙසට යන කෙටි පාර සොයා ගැනීමට රජතුමා ඇමැතියන්ට උපායක් කීවේය.
එනම් එහි නිතර යන එන එක් ගවදෙනකගේ පිටේ තල ගෝනියක් බැඳ එහි කුඩා සිදුරක් කර තබන ලෙසය. ඒ සිදුරෙන් වැටෙන තල පැළවූ කළ ඒ මාර්ගයෙන් ගොස් පෙදෙස සොයා ගත හැකි බවය උපක්‍රමය. ඒ ක්‍රමයට අනුව කටයුතු කිරීමෙන් දැනට
මින්නේරි වැව පිහිටි පෙදෙසට යාමට නියම මාර්ගය දැන ගත්තේය. ඊටපසු ඇමති ගණයා කැටුව එහි ගිය මහසෙන් රජතුමා ඒ පෙදෙස වැවක් කැණවීමට යෝග්‍ය බව දැක මේ වැව කැණවීමේ වැඩ ආරම්භ කෙළේය.
වැව් කර්මාන්තයට උවමනා අවි ආයුද හා කම්කරු ජනයාද රැගෙන ඇමැතිවරු එහි ගොස් කැළය එළි පෙහෙළි කරදමා රජතුමා හා ඇමතිවරුන්ටත් සේවක ජනයාටත් නැවතීමට ගොඩනැගිලි කූඩාරම් කරවා වැව් කර්මාන්තය ආරම්භ කෙළේය. ඒ අතර එම ප්‍රදේශයේ වනගතව වාසයකරන සබරයෝ මෙනේරි නම් ධාන්‍ය වර්ගයක් අනුභව කරන බව එහි වැඩ කළ මිනිස්‌සුගෙන් රජතුමාට දැනගන්නට ලැබුණේය.
රජතුමා ඒ මනුෂ්‍යන්ට එම පෙදෙසෙන් ඈත් වන්නට නියම කළේය. ඒ වැදි ජනයා මින්නේරි වැවට උතුරු පෙදෙසේ සාරවත් බිමක ගෙවල් තනාගෙන පදිංචි වූවෝය. මින්නේරි වැවේ බොරදිය පිටකරන මාතිකාවලින් ගලා යන ජලය අර මිනිසුන්ගේ ගම්මානය හරහා ගලා ගොස් රොටුවැවට වැටෙන්නේය. මේ නිසා ඒ වැදිගමටත් රොටුවැවය කියා ව්‍යවහාර කරන බව කියති.
මේ වන්නී මනුෂ්‍යයෝ ඉතා නොදියුණු තත්ත්වයක සිටින බවත් ඔවුන්ගේ ස්‌තී්‍රන් අන් මිනිසුන් සමඟ පලා යන බියෙන් ඒ ගමට අන් ජාතිකයන්ට යාමට ඉඩ නොදෙන බවත් කියති. වැවේ කර්මාන්තය බාරගත් ඇමතියා ඉක්‌මනින් කර්මාන්තය කෙළවර කිරීමට මහත් ආයාසයක් ගත්තේය. වැව්කණ්‌ඩිය පුරවා ගෙන ගිය ඔහුට තවත් ඉතුරුව තිබුණේ බඹ කීපයකි.
මේ අවසාන කොටසේ වැව් බැම්මට දමන පස් වතුරට සේදී යන්නට විය. එය වැළැක්‌වීමට නොයෙක් ලෙසින් උත්සහ ගත් නමුත් බැරිවිය. අන්තිමේදී මේ ගැන රජතුමාට ද දැන්වූවේය. රජු එතැනට පැමිණ වැඩ කෙරෙව් නමුත් ප්‍රතිපල පෙරසේම විය. මේ ගැන කනස්‌සල්ලට පැමිණි රජතුමා ඒ ගැන සිත සිතා රෑ දාවල් ගත කළේය.
එක් දවසක් රජතුමා රෑ නිදාගන්නා අවස්‌ථාවේදී " රාජ කුමාරයකු බිල්ලට නොදී මේ වැවේ අවසානයක් දැකීම කවදාවත් නොසිදුවන්නේය " යි රජතුමාට කියනවා සිහිනයෙන් දුටුවේය. හීනය දකිනවාත් සමඟ අවදි වූ රජතුමා ඒ ගැන කල්පනා කරන්නට විය.
සිහිනයෙන් කිවු දෙය ඇත්ත වියහැකි සිතූ රජතුමා බිලිදීමට රාජ කුමාරයෙක් ඉන්නේ කවුදැයි සිතා බැලුවේය. තමාගේ කුඩා කුමරුවා හැර අන් රාජ කුමාරයකු රජුගේ සිතට හමුනොවුණේය. අහෝ! මගේ හුරතල් බිළිඳු පුතා බිලිදෙන්නේ කෙසේදැයි සිතමින් සිතුවිලිගඟේ තෙරක් නොදැක පිහිනුවේය. "කුමාරයකු බිලි නොදී වැවේ කර්මාන්තය කෙළවර කිරීමට බැරිය.
වැවේ කර්මාන්තය අඩාල වුවහොත් ගොවිතැන් දියුණු කිරීමට බැරිය. එ සේ වුනොත් රටට වන්නේ මහා විපතකි. ලෝවැඩ පිණිස පෙර රජවරු අඹු දරුවන් පවා දී තිබෙනවා නොවේදැයි සිත සිතා තම පෙම්බර පුතාවත් මෙතනට බිලි නොදී මේ වැඩේ
අතහැර දැම්මොත් මට රටවැසියා ගෙන් හොදක් අහන්නට ලැබෙන්නේ නැත.
ඔවුන් මා සලකන්නේ බියගුළු නිවට ලාමක පුද්ගලයකු හැටියටය. කමක් නැහැ රට උදෙසා දරුවා බිලිදෙන්නට ඕනෑ යි අවධාරනයෙන්ම හිත හදාගෙන යහනෙන් නැගිට බිසව් ළඟට ගියේය. ගොස් මේ සියලු පුවත කියා හෙට කුමාරයා වැව් කණ්‌ඩියට බිලි දී වැවේ වැඩ අවසාන කලයුතු බව කීවේය.
රජුගේ කීම අසාගන සිටි බිසව මුසපත් වූවාය. දෙනෙත කඳුළින් පිරී ගියේය. හෘදය ගැහෙන්නට විය. උගුර කට වියලුණි. පාත්කරගත් හිස ඈ යළිත් එසෙව්වේ නැත. බිසව සමඟ තවත් කතාකර ඇගේ හිත පාරන්නට නොසිතූ රජතුමා
තමාගේ යහනට නැගී කල්පනා කරමින් සිටියේය. ශෝක සාගරයේ නිමග්න වූ බිසව් බොහෝ වේලාවක් ම පුතා බේරා ගැනීමේ මං ගැන නොයෙක් අතට කල්පනා කලාය. අන්තිමේදී ඈ දරුවාත් රැගෙන එළිවෙන්නට ප්‍රථම මාලිගයෙන් පැනයාමට ඉටාගත්තාය.
එ සේ ඉටාගත් ඕ එළිවෙන යාමයේ කිසිවෙකුට නොදැනෙන්නට දරුවාත් රුගන මාලිගයෙන් පිටවී කැළෑ මංවලින් වනලැහැබ් වලින් ගමන් කොට හිරු නැගී එත් ම එක්‌තරා වනරොදකට වී සැගවී ගත්තාය.
එදා උදේ බිසව සහ ළදරු කුමරුත් නැති බව දැනගත් රජතුමා හටගත් ශෝකය යටපත් කරගෙන බිසව සෙවීමට නොසිතා තමාගේ නැගණීය කැඳවා සිදුවූ සියල්ල ඈට කියා ඇගේ දරුවා වත් දෙන ලෙස ඉල්ලා සිටියේය. රාජ නියෝගය කඩකිරීමට නුපුළුවන් බව දත් ඕ රජතුමාගේ දෙපාමුල දරුවා තබා කඳුළු වගුරවමින් තම මැදුර බලා පා නැගුවාය. තම ශෝකය යටපත් කරගත් රජතුමා කුමාරයා ගෙනගොස් වැව්කඩට බිලි දෙන ලෙස ඇමතියකුට අණ කලේය.
ඒ ඇමැත්තා කුමරුවා යහනාවක තබා ගෙන යන කළ වැව අසල පාරමැද වලසකු වැටී සිටිනවා දුටුවේය. අමාත්‍යා මිනිසුන් ලවා වලසා අල්ලා බැඳ යහනේ තබා කුමාරයා සඟවාගෙන යන්නට සැලැස්‌සුවේය. ඇමතියා වලසා වැව්කඩම තබා පස් දමා වසා වහ වහා වැව්කඩ පුරවන්නට පටන්ගත්තේය. බිල්ල දීමෙන් පසු වැව්කඩ හේදීයාම වැළකුණේය.
මෙසේ වැවේ වැඩ අවසන් කළ ඇමතියා ඒ බව රජතුමාට දන්වා වැවට නමක් තැබීම ගැන ද මතක් කෙළේය. ඒ පෙදෙසේ පදිංචිව සිටි ජනයාගේ ප්‍රධාන ආහාරය මෙනේරි යැයි පළමුවෙන් එහි ආ දා රජතුමාට දැනගන්ට ලැබුණ නිසා රජතුමා වැවට මෙනේරි වැව යයි නම් කෙළේය. කළුදෑවා (වලසා) බිලිදුන් තැනට කළුදෑකඩ යයි එතැන් සිට
ව්‍යවහාර විය.
කුමාරයා බිල්ලට නොදුන් බව රජතුමා තවම දන්නේ නැත. වැවේ වැඩ අවසාන වීමෙන් පසු රජතුමා ඒ අසල මහ වනය කප්පවා කුඹුරු කරවීමට ආරම්භ කලේය. කුඹුරුවල වැපිරීමට බිත්තර වී නොතිබුණ නිසා බත් වැපුරුවේය. නුමුත් දින කීපයකට පසු ගොයම් පැලවී නිල්වන් පාටින් බබළන්නට විය.
රජතුමා ඒ ආශ්චර්ය ගැන මහත්සේ පී්‍රතියට පැමිණියේය. බත් වලින් ගොයම් හටගෙන වී පැසුන නිසා එදා සිට ඒ ප්‍රදේශය බත්ගම් පත්තුව යන නමින් ප්‍රසිද්ධ වී ලු. මේ කාලයේ ද එහි එම නමින් ගම්මානයක් සහ කුඹුරු යායක් ඇති වබ කියති.) අලුත් කුඹුරේ වී වලින් බත් පිස රාජ භෝජනය පිළියෙල කර අලුත් බත් අනුභව කරන අවස්‌ථාවේදී අර ඇමතියා විසින් සඟවන ලද කුමාරයා ගෙන්වා රජුට දක්‌වා සිදුවූ සියලු පුවත් දන්වා සිටියේය.
ඊට පසු රජතුමාගේ සැගවී ගිය බිසව සහ පුත් කුමරුවාද රජු වෙතට පමුණුවන ලද්දේය. සියල්ලෝම පී්‍රතියෙන් ආහාර අනුභව කළෝය.
