රජ්ජුරුවන්ගේ පැණිවරකාව
 

හගුරන්කෙත දේවාලයට අයත් ඉඩමේ ප්‍රසිද්ධ පැණිවරකා ගසක්‌ තිබුණේය. එහි කොස්‌ වාරයට පලගන්නා හොදම ගෙඩියක්‌ රජ්ජුරුවන්ට ඉඳවා දීම පොර සිටම පැවත ආ චාරිත්‍රයකි. රාජසිංහ රජතුමා හගුරන්කෙත මහවාසලට වැඩමවා සිටින කාලයේ දේවාලයේ කපුරාළ එහි පැණිවරකා ගසේ පලගත් හොදම විශාල ගෙඩිය රජතුමාට ඉඳවා දීම සඳහා සුදු රෙදිකඩක්‌ බැඳ වෙන්කර තැබුවේය.

ඔහු නිතර කොස්‌ගහ ළඟට ගොස්‌ ගෙඩිය ඉඳිලා දැයි බැලීම අමතක කෙළේ නැත. දේවාලයේ කෙම්මුර දවසක එහි පැමිණ සිටි මැදඅරාවේ ගමරාළ නමින් ප්‍රසිද්ධ කවටයා මේ කොස්‌ ගෙඩිය දුටුවේය. මේ තැනැත්තා රජවාසල මුරට එන ඌවේ මුර කණ්‌ඩායමේ කෙනෙක්‌ නිසා කපුවා මොහු ගැන සැක නොකෙළේය.

මොහු දිනපතාම වාගේ දේවාලයට පැමිණ තේවාවට ද සහභාගි වූයේය. කපුරාළට පළමුවෙන් මොහු වරකා ගෙඩිය ඉඳුණු බව දැනගෙන වටපිට කවුරුවත් නැති වේලාවක්‌ බලා ගෙඩියෙන් ගහපැත්තට තිබුණු පලුව කපාගෙන හොරෙන්ම කාදැම්මේය. පසුවදා එහි ආ කපුරාළට වරකා සුවඳ දැනී ගොස්‌ බැලූ කළ ගෙඩියෙන් බෑයක්‌ හොරු කපාගෙන බව පෙනුනේය.

කපුරාළ වහාම මුළුතැන්ගෙට ගොස්‌ මේ වැඩීමට වෙන්කර තිබුණු වරකා ගෙඩිය හොරුකා තිබෙන බව මුළුතැන් රාළට දැන්වූයේය. ඔහු මේ බව රජතුමාට සැළ කෙළේය.

රජතුමා හොරා අල්ලාගෙන එනලෙස කටුපුල්ලන්ට නියම කෙළේය. කටුපුල්ලේ රාළලා ඒ දවස්‌වල දේවාලයට ගිය සැම දෙනෙක්‌ම අල්ලා අත කට සිඹ බලබලා යනවිට මැදඅරාවේ ගමරාළගේ අත කට වරකා සුවඳ ගහන බව දැක අල්ලාගෙන රජතුමා වෙතට ගෙන ගියෝය. නඩුව ඇසූ රජතුමා රජවාසලට අපහාස කිරීම ගැන ගමරාළ වරදකාරයා කෙළේය.

(c) Shilpa Sayura Foundation 2006-2017