වරකාගොඩ පස්‌යොදුන්රට පිහිටි ගමකි. පුරාණ කාලයේදී රජවරුන් විසූ මාලිගා ආදියේ නටඹුන් හා විහාර, දේවාල, ගල්සන්නස්, පොකුණු ආදියෙන් සමාකීර්ණය. මේ පියස එක් කාලයකදී සිංහල බලකොටුවක් ලෙස පැවැති බවට ද සලකුණු ඇත්තේය.
පොළොන්නරුවෙහි රජකල විකුම්බා රජු සමඟ සටන්කළ මානාහරණ ආදී රජුන් මෙහි විසූ බව ද කියති. එම රජුන්ගේ බලකොටුව පිහිටා තිබුණැයි සලකන පෙදෙස හැර ඒ අවට පෙදෙසෙහි තැන්තැන්වල චෛත්‍ය, පවුරු, මාලිගාවල නටඹුන් අතර දැනට දක්‌නට ලැබෙන ගල්කණු, උළු, ගඩොල් ආදිය වෙති. එක් තැනක අඩි 8 ක් පමණ උස ඇති ගල්කණු රාශියක් දක්‌නට ඇත්තේය. ඒවායේ මනහර විචිත්‍ර කැටයම් වැඩ කර ඇති බව ද පෙනෙන්නට ඇත.
ඒ අසල තෙමහල් පහයක නටඹුන් යයි අනුමාන කළ හැකි අත්තිවාරම් හා බිත්ති ආදිය ද දක්‌නට ඇත. තවත් ඒ අසල තැනක සෙල්මුවා පියගැට පෙළකින් පහලටම බැසිය හැකි සේ කළ විසිතුරු දැකුම්කළු පොකුණක් වෙයි. එහි දිය පැහැදිලිය. සිසිලය. පළාත්වාසී ජනයා එය නාන පොකුණක් සේ පාවිච්චි කරති. තව තැනක " ශ්‍රී සඟ බෝ ශ්‍රී" යන අකුරු කෙටූ බෝ කොළයක සටහනක් ඇති සෙල්පුවරුවක් වෙයි.
ගණේ උඩ (ගණේ ගොඩ)
මේ බිම් පෙදෙසට ගම්වාසීහූ ගණේඋඩ යයි කියන හෙයින් මෙය එක් කාලයකදී විශාල සංඝාරාමයක් පැවති ඉඩමක් බව නොඅනුමානව සිතිය හැක. මේ අසල පිහිටි සමහර ඉඩම් වලට දිසාගෙවත්ත, කුමාරගේ වත්ත, උයන්වත්ත, වාසලකඩහේන යන නම් අද දක්‌වා ව්‍යාවාහාර වෙති. ගණේ උඩ යයි ව්‍යවහාර කරන ඉඩමේ එක් පැත්තක කුඩා ගල්ලෙනක් ඇත්තේය.
රන් අඹගෙඩිය
එක් දවසක් මේ ඉඩමේ දර කැඩීමට ගිය අසල්වැසි ස්‌තී්‍රයකට ගල්ලෙනේ තිබී අඹගෙඩියක් මෙන් තැනූ රත්රන් බඩුවක් සම්බවිය. ස්‌තී්‍රය එය කුමක් දැයි බැලීම පිණිස එතනම ගලක් මත තබා තවත් ගලකින් තලන්නට සූදානම් වූවාය. ඇගේ අතින් මිදුණු සැනෙන් එය අතුරුදන් විය.
මේ ස්‌ථානයේ අවතාර හොල්මන් ඇතැයි විශ්වාස කරන අසල් වැසියෝ ඇඳිරි වැටුණාට පසු එහි ඇවිදීමට යන්න් නැත. නිදන් සොරුන් විසින් වරක් මෙහි වස්‌තු සොරාගැනීමට උත්සහායක් දැරූ නමුත් හදිසි බියකින් ඔවුන් පැනගිය බවද අසන්නට ලැබිණ.
වස්‌තුගල
මෙහි මුලින් කියනලද වරකාගොඩ ගණේඋඩ නටඹුන් පිහිටි පෙදෙසට නුදුරුව බැලුන්ගල නමින් විශාල පර්වතයක් ඇත. ඒ පව්ව ආසන්නයෙහි තවත් ගිරිකුලක් පිහිටා තිබේ. වස්‌තුගල නමින් හදුන්වන්නේ එයයි. එහි එක් පසෙක ගිරිලෙනකි. යටකී වරකාගොඩ රාජධානියක්‌කොට ගොඩනැගිලි, බලකොටු, විහාරාරාම ආදිය කරවා එහි විසූ රජදරුවන්ගේ අගනා වස්‌තුව සඟවා තබන ලදැයි විශ්වාස කරන්නේ
මේ ගල්ලෙනෙහිය.
දෙවගනක්
එක් දවසක් දිළිඳු කාන්තාවක් දර පිණිස වනෙහි සැරිසරන අතර මේ ගල්ලෙන සමීපයට පැමිණියාය. ඈ ලෙන තුළට එබී බැලූ කළ ලස්‌සන රන් රුවන් ආභරණ පැළඳි රූමත් කාන්තාවක් ලෙන තුළ සිටිනු දැක ඈ විශ්මයට පැමිණියාය.
ඒ ස්‌ත්‍රීය බියෙන් සැලි සැලී නිශ්ශබ්දව අර රූමතිය දෙස බලා සිටින විට ඒ දෙවඟන කතාකර "බයවන්ට එපා, මම වනදෙව්ලියක්‌මි" යි කියා අර දිළිඳු ස්‌ති්‍රය කෙරෙහි අනුකම්පා උපදවා ලෙනේ ඇති වස්‌තුව පිළිබඳ විස්‌තර කියා දුන්නාය. පසුවදා ඒ ස්‌තී්‍රය යළිත් ලෙන ළඟට ගොස් යාච්ඤා කරන කළ එහි දොර ඇරුනේය.
ඈ තමාට යැපෙන පමණ කහවණු ගෙන එළියට එනවාත් සමඟම ලෙනේ දොර වැසී ගියේය. ඊට පසු නැවතත් එහි ගිය ස්‌තී්‍රය රත්රන් දෑකැත්තක් ගෙන අවුත් නැවත එය තැබීම සඳහා ලෙන තුළට ගිය විට ඈ ලෙන තුළ සිටියදීම එහි දොර වැසී ගියේය. දොර නැවත ඇරුණේ නැත.
