රන් පිළිමය කැපූ ඇඟිල්ලෙන් ලේ ගැලීම
 

දඹදිව රක්‌ අඩු දේසයේ සිට ගෙනෙන රන්මය බුදු පිළිම වහන්සේ නමක්‌ හතර කෝරළයේ පාත බුලත් ගම උඩුවේ විහාරස්‌ථානයෙහි තැන්පත් කර තිබුනේය. මේ පිළිම වහන්සේ මහත් ආනුභාව සම්පන්න බව පළාතේ ජනයා අතර ප්‍රසිද්ධ විය. පිළිමය දැක වැඳ පුදා යෑමට දහස්‌ ගනන් ජනයා එහි ඇදී එන්නට වූහ.

රජ්ජුරුවන්ද පැමිණ පිළිමය බලා මලින් ගඳින් පුද සිරිත් පවත්වා ගියේය. ඒ පිළිමය විහාරස්‌ථානයට ගෙනා කාලයේ පටන් විහාරස්‌ථානයට ගරු සැලකිලි හා පුද පූජා ලැබීමද අධික විය. එහි භික්‍ෂුන් වහන්සේට එතැන් සිට සිවුපස ප්‍රත්‍යය ලැබීම ද අධික විය. ටික කලක්‌ මෙසේ පසුවන විට මෙම අසිරිමත් වටිනා රන් පිළිමය හදිසියෙන් නැති බව පෙනිණි.

සෘඩි බලයෙන් අන් තැනකට වඩින්නට ඇතැයි සමහර සැඳැහැවත්තු කීහ. සමහරු පිළිමය දඹදිවටම අහසින් යන්නට ඇතැයි කල්පනා කලහ. එහෙත් පන්සලේ නිවැසි සංඝයා පිළිමයට කුමක්‌වූවේදැයි රහසින් සෙවීමට යෙදුනහ. විහාරයේ මල් පහන් පූජාවට නිතර නිතර එන යන උපාසකවරුන් ගැන විපරම් කලහ.එ ගමේ හා අවට ගම්වලද ප්‍රසිද්ධියේ මෙන්ම අප්‍රසිද්ධියේ පිළිමය ගැන සොයා බැලුවේය. නිතර වන්දනාවේ පැමිණි අයගේ ගමන් බිමන් හැසිරීම් ගැනද සෙවීමෙහි තත්පර වූහ.

මේ අතර නිතර පන්සලට ආ උදේ හවස මල් පහන් පිඳීම කඩ නොකරන පිළිමයේ ශෝභාව හා ප්‍රාතිහාර්ය ගැන කතා කරන මහ උපාසකරාළ පිළිමය නැතිවූ දවස්‌වල සිටම පන්සලට ඒම අඩු වූ බව ද පෙනුනේය. "විහාරය බිඳ රන් පිළිමය හොරු ගෙන ගොස්‌ ය" යන පුවත ළැව්ගින්නක්‌ මෙන් රටපුරා පැතිර ගියේය. මේ ඇසූ ගම්වාසී ස්‌තී්‍රපුරුෂයෝ විහාරස්‌ථානයට රැස්‌වන්නට වූහ. භික්‍ෂූන් වහන්සේලා ප්‍රභූ දායකයනුත් කැටුව පිළිමය සොයමින් ගමපුරා සංචාරයක යෙදුනාහ.

මෙසේ ගිය පිරිස ගැවිලපිටියේ පදිංචිව සිටි ගමගේ පවුලට අයත් කලිඟුවා උපාසකයාග් නිවසට ද ගියේය. දායකවරුන් කැටුව භික්‍ෂූන් වහන්සේලා එහි ගියේ ඔහු සැකකිරීම නිසාම නොවේ. කාරණා දෙකක්‌ අදහස්‌ කරගෙනය. එකක්‌ මහා භක්‌තිවනතයෙකු වූ ඔහුට පිළිමය සොරුගෙනයෑමේ අපරාධය ගැන දැනුම් දීමටය. අනික දවස්‌ කීපයක සිට කලිඟුවා උපාසක රාළගේ හදිසි අතුරුදහන් වීමෙන් ඇතිවු සෑකයත් ය.

සොරකම කළහැටි නිතර පන්සලට ආගිය කලිඟුවා විහාරයේ කිසිවකු නැති අවස්‌ථාවක්‌ බලා රන් පිළිමය සොරකම් කරගන ගොස්‌ ස්‌වාර්ණාභරණ සැදීම පිණිස පිළිමයේ ඇඟිල්ලක්‌ කපා ගත්තේය. ඇඟිල්ල කපාගත් ඇසිල්ලේ සිට එතනින් ලේ ධාරා ගලා එන්නට විය. ප්‍රාණවත් සත්වයකුගේ කැපුනු ශරීරයකින් මෙන් රුධිර ධාරා ගලා යන්නට වූයෙන් බියට පත් කලිඟුවා ලේ ගැලීම නවත්වාලන්නට දන්නා තරම් උපක්‍රම යෙදූවේය.

එ හෙත් ලේ නැවැත්වීමට නොහැකි විය. ඊට පසු ඔහු පිළිමය රැගෙන ගොස්‌ ළිඳට දැමීය. ළිඳේ වතුරද ලේ පාට විය. මෙයින් ඉතාමතා බියට හා තැති ගැනීමට පත් කලිඟුවා වහාම ගෙදර ගොස්‌ යමෙක්‌ තමා ඇසුවහොත් නැති බව කියන්නට යයි අඹුදරුවනට නියම කර තෙමේ අටුවට නැගී සැඟවී උන්නේය.

කලිඟුවාගේ ගෙදරට ගිය පිරිස ඔහුගේ පුතෙකුගෙන් කලිඟුවා ගැනත් පිළිමය ගැනත් විචාලහ. ඔහුගේ කුඩා කොලුවා පියා පිළිමය ළිඳේ දැමූ බවත් ඔහු අටුවේ සිටින බවත් කීවේය. ඒ ඇසූ සමූහයා ළිඳ ළඟට ගොස්‌ එබී බැලූ කල එහි වතුර ලේ වී තිබෙනවා දැක බිය පත් වූහ. ඉක්‌බිති රාජ පුරුෂයෝ පැමිණ පිළිමය ගොඩගෙන කලිඟුවා අල්ලා පිටිතල හයා බැඳ තලා මර මරා රජු ඉදිරියට ගෙන ගියහ.

පිළිමය සොරකම් කිරීමේ නඩුව විභාග කල රජතුමා කලිඟුවාගේ හිස ගසාදමන්නටත් දේපල රාජසන්තක කරන්නටත් ඔහුගේ අඹු දරුවන් රොඩී රැහැට දමන්නටත් නියම කෙළේය. එතැන් සිට රොඩී කුප්පායමට ගිය කලිඟුවාගේ අඹුව හා දරු පරපුරෙන් පැවත එන පිරිස නාහල්ලේ පේරුවේ රොඩී යයි ව්‍යවහාර වූහ.

(c) Shilpa Sayura Foundation 2006-2017