රන්වල දෙයියෝ
 

රන්වල කෑගලු නගරයට ආසන්න සතර කෝරළේ ගමකි. සිංහල රජ කාලයේ මහවාසලට අයත් වී පත්තායම තිබුණේ මෙහිය. දෙවෙනි රාජසිංහ රජුගේ කාලයේදී අලවතුරේ රාළ සහ ගණේගොඩ රාළ යන නම් ඇති මිනිස්‌සු දෙන්නෙක්‌ මෙහි
වාසය කළෝය.

මේ දෙදෙනා අති මිත්‍රයෝය. හේවාකමෙහි දක්‍ෂ විය. කොයි කටයුත්තෙහි දීත් මේ දෙදෙනා කටයුතු කළේ එකටය. සාමාන්‍යයෙන් මේ දෙන්නා ශක්‌තිමත් නිර්භීත දෙන්නෙක්‌ නිසා ගම් වැසියෝ ද මොවුනට ගරු සැලකිලි කළහ.

මෙසේ පසුවන කාලයේ එක්‌ දිනක්‌ මේ දෙන්නා මහවාසල පත්තායම බිඳ එහි තිබූ වී අටු සොරා ගත්තෝය. මේ නිර්භීත සොරකම ගැන සොයා බැලූ රාජපුරුෂයෝ රජු අණින් මේ දෙන්නා ඇල්ලීමට ගියහ. මේ බව දත් හොරු දෙන්නා කතිකාකර
ගෙන ගමින් පිටවී පලා ගියෝය.

දවල් දවසේ මහවනයේ සැඟවී සිට ඇඳිරි වැටුණාට පසු කැලෑ මංමාවත් වලින් ගිය දෙන්නා කැළණි ගඟ අසබඩට පැමුනුණෝය. ගඟ ඔස්‌සේ දුර ප්‍රදේශයකට යා හැකි බව කල්පනාකොට පහුරක්‌ සාදාගෙන ගඟ දිගේ පහළට ගමන් ගත්තෝය. මෙසේ
යන අතර සිය නෑ කෝරළේ කැළණි ගංතෙර එක්‌තරා ප්‍රදේශයකදී කතාකොට "දැන් ඉතින් ආවා ඇති, අපි මෙහි නවතිමු" යි තීරණය කරගෙන අලවතුරේ රාළ පහුරෙන් බැස ගොඩට ගියේය. ඔහු නැවතුනේ අප්‍රසිද්ධ කුඩා ගමකය.

ගණේගොඩ රාළ තවත් හැතැප්ම දෙකක්‌ පමණ ගඟපාතට ගොහින් දන්ගල්ල නම් ගමක නැවතුණේය. එවකට ඒ ගමේ පවුල් කීපයකට වඩා පදිංචිව සිටියේ නැත. එහි නැවතුණ ගණේගොඩ රාළ එම ගමේ වැදගත් පවුලකින් විවහයක්‌ කරගෙන යහතින් ජීවත් වූයේය.

අලවතුරේ රාළ නැවතුණු ගම එවකට වඩා දියුණු තත්ත්වයක නොපැවතුනේය. ඔහු ඒ ප්‍රදේශය කැළෑ එළිපෙහෙළි කොට කුඹුරු තනා ස්‌වඋත්සහයෙන් සාරවත් ගම්මානයක්‌ ඉදිකෙළේය. දංගල්ලේ පදිංචිවූ ගණේගොඩ රාළත් තම මිතුරාගේ ගම්වැඩුමේ වැඩට බොහෝ සේ උපකාර කෙළේය.

අලවතුරේ රාළද දන්ගල්ලෙන් ස්‌ත්‍රීයක්‌ සරණපාවාගෙන හොඳින් කල්ගත කෙළේය. ඒ ගම් වැසියෝ මොහුට බොහෝ සේ ගරු කලා පමණක්‌ නොව ඔහු ගමේ ප්‍රධානයා ලෙසද පිළිගත්තෝය. අලවතුරේ රාළ විසින් ඒ ගම ඉදිකළ හෙයින් ඒ ගමටත් ඔහුගේ
මුල්ගමේ නම වන රන්වල යන නාමය ව්‍යවහාර කළෝය.

රන්වල දෙයියෝ අලවතුරේ රාළ සවභාවයෙන්ම නිර්භීත මනුෂ්‍යයකි. උත්සහවන්තයෙකි. අන්‍යයන්ට උදව් උපකාර කිරීමෙහි නිරත වූවෙකි. අශීලාචාර පාපකි්‍රයාවලින් තොර වූවෙකි. ගමේ මිනිස්‌සු කවුරුත් ඔහුට ආදරයක්‌ සැලකිල්ලක්‌
ඇතුව සිටියෝය. දෙවි කෙනෙකුට මෙන් ගරුසම්මාන කළහ. මේ නිසා ඔහුගේ මරණින් පසු ගම්මු ඔහු දෙවියෙකු වී ගමේ ම ඉපිද ඇත යන විශ්වාසයෙන් රන්වල දෙවියෝ ය කියා යම් යම් ආපදාවලදී කන්නලව් කිරීමාදියට ඇබ්බැහි වූහ.

ඒ පෙදෙසේ කැළණි ගඟට අරක්‌ගත් දෙවියාත් මේ රන්වල දෙවියෝම යයි බොහෝ දෙනා විශ්වාස කළහ. කල්යාමේදී කැළණි ගඟේ ඔරුපාරුවලින් ගමන් කරන්නෝද රන්වල දෙවියන්ගෙන් පිහිටාරක්‌ෂාව බලාපොරොත්තුවෙන් පඩුරු බැදීමාදියට
පුරුදුවූහ. පළාතේ වසංගත රෝග පැතිරී යන අවස්‌ථාවලදී ද ගොවිතැන් කිරීමාදියේදී ද දෙවියන් සිහිකර පුදපඩුරු ඔප්පුකර ආරක්‍ෂාව පැතූහ.

යක්‌ තොවිල් බලිතොවිල් කරන්නෝද මේ දෙවියනට ස්‌තූති ගීතිකා කියන්නට වූහ. රන්වල දෙවියන්ට නිසි අවස්‌ථාවල සුදුසු පුද පූජා නොකර පැහැර හැරියොත් එයින් නොයෙක්‌ උවදුරු පැමිණෙන බව විශාවාස කළහ. යම් යම් අය මේ දෙවියන්ට නොසැලකීම හේතු කොටගෙන ඔවුන්ට නොයෙක්‌ අන්දමේ ආපදා සිද්ධවූ බවට කියන කතා පළාත් වාසීන් අතර බොහෝ සේ පවතී.

එබඳු කතාවක්‌ දෙකක්‌ මෙහි දක්‌වමු. තෝල්කයා ගොළුවීම. රන්වල තොටුපලට ආසන්නව නයිගලවළ නමින් වක්‌කලමක්‌ තිබේ. එහි මසුන් බහුලය. ඉඩෝර කාලවලදී ගඟේ වතුර අඩුවී ගියවිට ගම්වැසියෝ එකතුව නයිගලවළේ මාළු ඇල්ලීමට යති. විශාල සෙනගක්‌ එකතුවී වළ ඉස මාළු ඇල්ලීම කරන්නේ ක්‍රීඩාවක විලාසයෙනි.

සාමාන්‍යයෙන් අවුරුදකට වරක්‌ වළේ මාළු ඇල්ලීම සිරිතකි. මීට පන්ඇදීම යයි ද කියති. මෙය බැලීමට කොළඹ ආදී දුරබැහැර සිට මිනිස්‌සු පැමිණෙති. එක්‌ වතාවකදී නයිගලවළේ මාළු ඇල්ලීම බැලීම සඳහා එවකට අවිස්‌සාවේල්ලේ පොලිස්‌ උසාවියේ සිටි තෝල්ක තැනද ඇවිත් සිටියේය.

ඔහු එදා එහිදී දවල් කෑම කා අවසානයේදී පිඟානේ ඉතුරුව තිබුණු කුකුල් ඇටයක්‌ අතට ගෙන " මෙන්න මේ කුකුල් ඇටය රන්වල දෙයියන්ටයි " කියා එය නයිගලවළ දෙසට වීසි කෙළේය. පුදුමයකි, එකෙනෙහිම ඔහු ගොළු විය. ඊට පසු එකම වචනයක්‌වත් කතා කරන්නට බැරිවිය. රැස්‌ව සිටි සියල්ලෝම විෂ්මිතව ගල් ගැසී බලා සිටියෝය.

"රන්වල දෙයියන්ට අපහාස කළ නිසා තමයි ඕක උනේ" යනු කාගේත් කීම විය. පසුව තෝල්ක තැන ඒ අසනීපයට කොතෙකුත් ප්‍රතිකාර කෙරෙව් නමුත් කිසිම සුවයක්‌ නොවීය. අන්තිමේදී පළාත්වාසි බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි රන්වල දෙයියන්ට නිසි පුද පූජා පවත්වා පඩුරු බැඳ ආරබාර වී තමාගේ නොදැනුම් කම නිසා සිදුවූ අත්වැරැද්දකට කමාවන්නටයි වැඳවැටී කන්නලව් කර සිටියේය.

එ සේ කිරීමෙන් පසු ඔහුට ගොතගහමින් කතාකිරීමට පමණක්‌ දේව කරුණාව ලැබුණේය. කිඹුල්කොටගේ බාරා කිඹුල්කොටගේ බාරා නමැති මිනිහෙක්‌ ඉහත කාලයේ රන්වල ගමේ වාසය කෙළේය. මේ මිනිහා දිනක්‌ ගඟේ නාමින් සිටි අතර දිය යට ගියේය. එතැන ගල් පත්ලේ විශාල ගුහාවක්‌ තිබුණේය. බාරා මේ ගුහාවට ඇදී ගියේය.

පුදුමයකි! එය දෙව් විමනකි. බාරා කවදාවත් නොදුටු පුදුම වස්‌තු එහි වූහ. බාරා විස්‌මයපත්ව මට මේ වුනේ කුමක්‌දැයි සිතන අතර කවුදෝ කෙනෙක්‌ ඉදිරියට ඇවිත් පෙනී ගියේය. බාරා වැඳ වැටුණේය. ඒ පුරුෂයා කතා කරමින් "භය වෙන්න එපා. රන්වල දෙවියෝය කියන්නේ මටයි. තා මෙහි පැමිණි බව කිසිවකුට කියන්න එපා." මෙසේ කී දෙවියා ඔහුට හය දවසක්‌ ම සංග්‍රහ කොට හත් වෙනිදා ගෙදර පිටත් කෙළේය.

බාරා ගඟේ ගිලී මැරෙන්නට ඇතැයි සිතූ නෑදෑයෝ හත් දවසේ දානය දීමට සූදානම්ව සිටියෝය. ඒ අතර බාරා හදිසියේම ගෙදර ආවේය. සියල්ලෝම පුදුමවූහ. එදා ගඟට නාන්නට ගිය නුඹ මෙපමණ දවසක්‌ කොහේ සිටියා දැයි ඔවුහු ප්‍රශ්ණ කළහ.
දෙවියන්ගේ නියෝගය අමතකවූ බාරා තමාට සිදුවූ සියල්ල විස්‌තර කෙළේය. අහෝ! බාරාට එදිනම උණගැනී එදා ම රෑ මළේය.

ගලේ සිටවුණු යකඩය ඉහත කී නයිගලවළට කිට්‌ටුව ගඟ අද්දර විශාල ගලක්‌ තිබේ. ගඟේ ජලය වැඩි දවස්‌වලදී මේ ගල වැසී යයි. මේ ගලේ යටට කා වැදුණු යකඩ ඉන්නක්‌ තිබේ. ගල සිදුරුකොට නැත්නම් හාරා සිටුවන ලද යකඩ පොල්ලක්‌ මෙන් තිබෙන මෙය මොන විදියකින් වත් ඒ සිදුරෙන් නොහොත් කුහරයෙන් පිටතට ඇදගැනීමට බැරිය.

මෙය ඇද්ද කළ රියනක්‌ පමණ උඩට ඇවිත් නවතී. අතහැරිය විට නැවත ගල් කුහරය තුළට බසී. ඔසවා හැරි කළ යටට බසින්නේ දෝංකාර ශබ්දයකුත් නිකුත් කරමින් ය. මෙයද රන්වල දෙවියන්ගේ ආනුභාවයෙන් සිදුවී ඇති පුදුමයක්‌ යයි පළාත්වාසීන්ගේ කල්පනා විය.
රන්වල දෙවියන් සම්බන්ධව තවත් අද්භූත හාස්‍යජනක නොයෙක්‌ කතා පළාත්වාසීන් අතර පවතින බව අසා ඇත්තෙමු.

(c) Shilpa Sayura Foundation 2006-2017