සන්දර වළ
 

මාඝ නම් දෙමළ සෙන්පතියා ලක්‌දිව ගොඩබැස පොළොනනරු පුරය නතුකරගත් කාලයෙහි දෙමළ සේනාවෝ රටපුරා ඒ ඒ තැන විසිර ගොස්‌ රට නසන්නට වූහ. ඔවුහූ සිංහලයන්ගේ ගම් බිම් ගෙවල් දොරවල් විනාශ කරමින් විහාරාරාම බිඳහෙලමින් සිංහලයන් සතු අගනා වස්‌තුව කොල්ලකෑමෙහි යෙදුණෝය.

දකුණු පළාතේ බද්දේගමට පිවිසි දෙමළු පුරාණ සල්ගමු විහාරය බිඳදමා එහිවූ සියලු වස්‌තුව රැස්‌කරගෙන ඒ අසල තිබූ කඳුගැටයක කඳවුරු බැඳගෙන උන්නෝය. එවක්‌ පටන් මේ කන්ද හැඩිදෙමළ කන්ද යැයි ව්‍යවහාර විය. මේ කන්ද සමීපයෙහි ගැඹුරු වූ විශාල වලක්‌ තිබුණේය.

ද්‍රවිඩයන් යථොක්‌ත කඳුගැටයේ කඳවුරුලාගෙන පළාත නසමින් දාමරිකකම් කරන අතර සිංහලයෝ බලවත්ව ද්‍රවිඩයන් රටින් නෙරපා දැමීමට මහා සටනක්‌ ආරම්භ කළෝය. සිංහලයෝ හැඩිදෙමළ කන්ද වටලෑමට සූදානම් වූ කල එහි වුන් ද්‍රවිඩ සේනාව ඔවුන් රැස්‌කරගෙන තිබුණු අගනා වස්‌තු සම්භාරය ගෙනයාමට නොහැකි බව දැන ඒවා යට කී වළේ දමා " අපි නැවත එනතුරු තොප මේ වස්‌තුව රැකගෙන මෙහිම වසව" යි කියා සන්දර නම් එක්‌ ද්‍රවිඩයකුගේ හිස ගසා වළට දමා ගියෝය.

සන්දරයා මරා දැමූ වළ එතැන් සිට සන්දර වළ නමින් ප්‍රසිද්ධ විය. ඉඩෝර කාල වලදී ඒ පළාත් වාසී සිංහලයෝ එතැනට එකතුව ඒ වළ ඉස වස්‌තුව ගැනීමට කීප වාරයක්‌ම උත්සහ ගත්තෝය. තරමක්‌ දූරට වළ ඉස වතුර හිස්‌ වන විට තද වර්ෂාවක්‌ වැස නැවතත් වළ පිරී යන්නේය.

මේ නිසා කවදාවත්ම ඒ වළ හිස්‌ කිරීමටවත් එහි තිබෙන වස්‌තුවෙන් යමක්‌ ගනීමටවත් නොහැකි වෙති. වළ පිරීයන්නේ එහි ඇති ස්‌වර්ණමය පුටු, සෙම්බු, තැටි, පිළිම, ආභරණ ආදී වස්‌තුව ගන්නට බැරිවීමටය. මේ වළ සමීපයෙන් හුදකලාව ගමන් කළ අයට වළේ උඩ මතුවී තිබුණු රන් සෙම්බු, කළ ආදිය දක්‌නට ලැබී ඇති බවත් ඒවා ගැනීමට අත දික්‌කරන විට එකවිටම ගිලාබසින බවත් ජනප්‍රවාදයෙහි එති.

කනේ කඩුක්‌කන් ලූ ආඳා එපමණක්‌ නොව මේ වලේ විශාල ආඳෙක්‌ සිටින බවත් ඒ ආඳාගේ කන්වල රන් කඩුක්‌කන් දෙකක්‌ පේන්නට ඇති බවත් පැරණියන්ගේ කතාවල එති. එක්‌ චතාවකදී මේ චළ මිනිසුන් වසින් ඉසගෙන ඉසගෙන යන විට වතුර හොදටම හිස්‌විය. එවිට අර කී ආඳා උඩට මතුවී ආවේය.

එක්‌ මිනිහෙක්‌ වහාම පැන ආඳා අල්ලා ගැනීමට හදනකොට ඌ දඟලා බේරී යන්නට හැදුවේය. එවිට ඒ මිනිහා උගේ වල්ගෙන් කබැල්ලක්‌ කපාගත්තේය. ඒ වල්ගා කැබෙල්ල උයා කෑ පවුලම බඩේගාය සෑදී මළේය. කළුවළ ගාලු කඩවත් සතර තුළ පිහිටි අක්‌මීමනට අයත් නියාගම නමින් කුඩා පියසෙක්‌ ඇත. එහි කළුචවළ නමින් ප්‍රසිද්ධ වළක්‌ තිබුණේය.

අක්‌මීමන මාලිගාතැන්න නමින් ප්‍රසිද්ධ ස්‌ථානයේ විසූ රජ පවුලක්‌ පරංගි හමුදාවකට බයේ පැනයන කළ ඒ රජ පවුලට අයත් අගනා වස්‌තුව මේ කළුවළේ දමා ගියේය. එවක්‌ පටන් මේ වළේද කඩුක්‌කන් ලූ ආඳෙක්‌ සිටින බවත් ඌ අර කී විදියට අල්ලන්ට ගොස්‌ වල්ගෙන් කැබැල්ලක්‌ කපාගෙන වුත් උයා කෑ පවුලක්‌ම අතීසාරය වැළදී මියගිය බවත් කියති.

එක්‌ දවසක්‌ මේ වළ අසලට වී හාල්මැස්‌සන් ඉහටි කඩමින් සිටි මහලු ස්‌තී්‍රයකට වළෙන් මතුවී දිය උඩ තිබුණු රන් සෙම්බුවක්‌ දක්‌නට ලැබුණු බවක්‌ පැරණියන්ගේ කතාවල සඳහන් වෙයි. බද්දේගම ඇත්කඳුරය කියන්නේ ද්‍රවිඩයන් හා සටනට පැමිණි සිංහල රජුගේ ඇතුන් නවත්වා සිටි තැනය.

ඒ ඇත් අස්‌ ගව මහීසාදීන්ට තණ ආදිය සපයා දුන් ස්‌ථානයට තණබද්දේගම යයි කියති. සිංහල භට සේනා නවත්වා සිටි කඳවුර බටපොළ නමින් ප්‍රසිද්ධ විය. සිංහල සේනාවන්ට බියෙන් අතුරු සිදුරු නැතුව දෙමළ සේනා දිව ගිය ගම්පියස දිවිතුරේ නමින් ව්‍යවහාර විය.

පුරාණ සල්ගමු විහාරය කරවූ දෙවප්‍රතිරාජ අමාත්‍යයා විසූ පෙදෙස පතිරාජ නමින් හැදින්වේ. එහි තරමක්‌ උස්‌ කඳුගැටයක ප්‍රතිරාජ තුමාගේ මාලිගය තනා තිබූ ස්‌ථානයේ උළු ගඩොල් කැබලි දක්‌නට තිබුණු බවත් යුරෝපීයයෝ තේ වවන්නට ප්‍රථම එහි නොයෙක්‌ පලතුරු වර්ග තිබුණු බවත් පැරැණියෝ කියති.

(c) Shilpa Sayura Foundation 2006-2017