වත්හිමි බණ්‌ඩාර
 

කුරුණෑගල් නුවර උඩුපල සේනක මහ රජතුමා රාජ~ජය කරන කාලයේ එතුමාට දුනුමාලේ බිසෝවරු යයි ප්‍රස්‌ද්ධ විශිෂ්ට රූපශ්‍රීයෙන් යුත් බිසෝවරු හැටහත් කට්‌ටුවක්‌ සිටියහ. මේ හැටහත් දෙනාම නැවතී සිටියේ වීරාගල් නුවර පල්ලේවාහල මාලිගාවේය.
මේ රජතුමාට දෙවැනි බුවෙනෙකබාහු, විජයබාහු කියාද ව්‍යවහාර කරනලදී. මේ රජුගේ වීරාගල සිටි බිසෝවරු හැටහත් දෙනාගෙන් එක්‌කෙනෙකුටවත් දරුවකු සිටියේ නැත. ඒ අසල පිහිටි අස්‌වැද්දුම නම් ගමක රූමත් මරක්‌කල සිත්‍රීයක්‌ ද රජු සමඟ මිත්‍රව වාසය කළාය.

එ සේ සිටින අතර ඒ මරක්‌කල ස්‌ත්‍රීයට දරුවෙක්‌ ලැබුණේය. ඒ දරුවාගේ පියා බුවනෙකබාහු රජුය. එමනිසා ඒ දරුවාට වත්හිමි හෙවත් වස්‌තු හිමි කුමාරයා යයි නම් කළේය. රජුට සිටි එකම පුතා මොහුය. එමනිසා රජතුමා ඒ දරුවාට මහත්
ප්‍රේමයක්‌ දැක්‌වූයේය.

වීරාගල් නුවර බිසෝවරුන්ගෙන් මේ කුමාරයාට අනතුරක්‌ වේදෝ යන බියෙන්
කුමාරයාගේ මවුගේ නෑයන් සිටින බේරුවල මරක්‌කල ගෙදරකට කුමාරයා රහසින් යවා අකුරු, ශිල්ප ශාස්‌ත්‍ර ඉගැන්වීමට කටයුතු කෙළේය. මේ පුවත වීරාගල බිසෝවරුන් දැන සිටියේ නැත.

කුමාරයාට වයස විස්‌සක්‌ පමණ වන කාලයේදී වීරාගල සිටි අග බිසවට ද කුමාරයෙක්‌ උපන්නේය. මේ කාලයේ දඹදෙණියේ කැරැල්ලක්‌ හටගත්තේය. වැසියෝ රජුට අයබදු නොදී සිටියහ. මේ බව ඇසූ බුවනෙකබාහු රජතුමා තමාගේ අගමැතිව සිටි වාරියපොළ නිලමෙට යුවරජ පදවිය දී කැරැල්ල සංසිඳුවන ලෙස පිටත් කෙළේය.

මෙවකට ආබෝපුරයේ සිටි අබෝරජු සිය මලනුවන්ට අගමැති කමත් මාබෝපිටියේ අලව්ව අසල ගමක් දී හිටිහාමිට සේනාපති ධුරයත් දී දඹදෙණිය අල්ලා ගැනීමට අදහස්‌ කරගෙන සිටියේය.

ආබෝ රජුට බිසෝවරු දෙන්නෙක්‌ වූහ. සීලවතී හා සෝමාවතී (මායාවතී) යන දෙන්නාය. මෙයින් සීලවතීගේ කුමාරයාට ආවිත්ත බණ්‌ඩාර යැයි නම්කර රජවාසල සිටියේය.

ආබෝ නුවර සමීපයේ මඩවල නමින් ගමක්‌ තිබුණේය. ඒ ගම සිටි මඩවල ගමරාළට ලක්‌ෂණ තරුණ දුවක්‌ සිටියාය. ඇගේ නම සුදු එතනාය. තරුණ වයසට පත්ව සිටි ආවිත්ත සුදුඑතනා බණ්‌ඩාර කුමාරයා ගමේ ගොඩේ ඇවිදින අවස්‌ථාවක මේ රූබර සුදුඑතනා දැක ඈ කෙරෙහි සිත්බැදි රහසින් එහි යන්ට එන්ට පටන් ගත්තේය.

එතනාට දරුවකු ලැබෙන ලකුණු පහළ විය. ආබෝ රජු හෝ සිලවතී බිසව හෝ
මේ ගැන කිසිවක්‌ දැනසිටියේ නැත. සීලවතී බිසව තම පුත් බණ්‌ඩාරට සුදුසු තැනකින් සරණ මංගල්‍යයක්‌ කරදීමට කල්පනාකර ඒ බව කුමාරයාට ද දැන්වූවාය. රජතුමා ද ඒ ගැන කුමාරයාට කීවේය. කුමාරයා " දැන්ම මට විවාහයක්‌ උවමනා නැතැ " යි කියා එය ප්‍රතික්‌ෂේප කෙළේය.

නැවත නැවතත් මවු බිසව හා පිය රජුත් ඇවිටිලි කරන කළ කුමාරයා උත්තර දෙමින් මඩවල ගමයාගේ දුව සුදුඑතනා සරණකර දෙන්නට අයැද සිටියේය. රජු ඊට කෝපවී ඒ ගෙදර පැත්තේ නොයන ලෙස කුමාරයාට අණ කෙළේය.

කුමාරයා නොපැමිණීම නිසා ශෝකයට පත් සුදුඑතනා කුමරු සොයා ඇවිදින්ට පටන් ගත්තාය. කුමාරයා ද ඈ නොදැක ශෝකයෙන් සිට රජවාසලෙන් රහසේ පිටවී ගොස්‌ ඈ හමුවී මඩවල ගමගෙදරට ගොස්‌ සිටියේය. මෙවකට ඇගේ දරුගැබට මාස පහක්‌ පමණ විය. කුමාරයා ගමගෙදර සිටින බව දැනගත් ගමයාගේ හතුරකු වූ කුඹල් කරුවෙක්‌ ඒ බව රජතුමාට දැන්වූවේය.

මෙයින් උදහස්‌ වූ රජු ඇමතීයකු යවා කුමාරයා ඇල්ලෙව්වේය. මෙය විභාග කර බැලූ රජු සුදුඑතනාගේ බෙල්ල කපා මරා දැමීමටත් කුමාරයා මඩවල කටුගොල්ලේ සොහොන්බිමේ වළක්‌ හාරා මැටි පුරවා හිටුවා පස්‌ ගැසීමටත් අණකළේය.
එතනාගේ ගෙල සිඳ දැමීමට ගිය හේවායෝ ඈ පොළොඹවා ගැනීමට උත්සහ කළෝය.

ඈ පතිව්‍රතා ධර්මය උදෙසා දිවි පිදීමට කැමති වූවාය. ඈ කෙරෙහි කෝපවූ හේවායෝ ඇගේ හිස දෙපළු කර දමා ඊළගට කුමාරයා හිටුවා පස්‌ගසා රාජ නියෝගය කළ බව රජුට දැන්වූහ.

ඒ ආවිත්ත බණ්‌ඩාරගේ සොහොන් ගැබය කියන පස්‌ ගොඩැල්ලක්‌ මඩවල කටුගොල්ලේ තවමත් ඇත.)මෙසේ කලක්‌ ගතවන අතර දඹදෙනිය අල්ලා ගැනීමට සිත්වූ ආබෝ රජ තම සෙන්පති වූ හිටිහාමිට සේනාවක්‌ දී දඹදෙනියට යැව්චෙව්ය.

මේ අතර කුරුණෑගල බුවනෙකබාහු රජු දඹදෙණියට පත්කර යවා සිටි යුව රජුත් අයබදු එකතුකර යැව්වේ නැති නිසා ඒ ගැන සෝදිසි කිරීම සඳහා කුරුණෑගලින්ද සේනාපතියෙක්‌ ආවේය. මේ සෙන්පති තැන සහ ආබෝ රජුගේ සේනාපතිත් අතරේ සටනක්‌ වී ඇතුගල්පුරෙන් ආ සේනාපතියා මැරුම් කෑවේය.

ඒ ඇසූ ආබෝ රජු ඇමැතියකුට ආබෝපුර බාරදී දඹදෙනි නුවරට වහාම ගියේය. දඹදෙණි පුරය සතුරන් විසින් වටකරන ලද බව දත් වාරියපොළ යුවරජු සටනට උදව් ඉල්ලා කුරුණෑගල බුවනෙකබා නිරිඳු වෙත දූතයන් යැව්වේය.
කුරුණෑගල රජු වත්හිමි (මරක්‌කල) කුමරාට වාසල බාරදී දඹදෙණිය බේරාගැනීම පිණිස යන්ට පිටත්ව වීරාගල් පුරයට පැමිණ තමා දඹදෙණියේ සටනට යනබව එහි සිටි බිසෝවරුන්ට දැන්නුවේය.

බිසෝවරු ශෝකයට පත්වූහ. රජතුමා ඔවුන් සනසා සටනින් දිනුවොත් සුදු කොඩිය ඔසවන බවත් පරාද උනොත් කළු කොඩිය ඔසවන බවත් කියාදී පිටත්ව ගියේය.
මෙසේ යන කළ රජුට ආබෝ රජුගේ සෙනෙවිරත් හිටිහාමිගේ හමුදා මුණගැසී සටනක්‌ විය. හිටිහාමි තුවාල ලබා පැන ගියේය.

එතැනින් ජයගත් බුවෙනකබා නිරිඳු දඹදෙණියට වඩින බව ඇසූ වාරියපොළ
යුවරජු පෙරමඟට ගොස්‌ මහරජු සාදරයෙන් පිළිගත්තේය. ඊට පසු ආබෝ රජු සමඟ සටන්කර ඔහු මරා ජයගෙන වීරාගල් නුවර සිටි බිසෝවරුන්ගේ සිත් බැලීම සඳහා සෙබළ දූතයකු අත කළුකොඩියක්‌ දී යැව්වේය. බිසෝවරු ගලෙන් පැන නසින්ට යන බව දුටොත් වහාම සුදු කොඩිය පෙන්වන ලෙසද අණ කෙලේය. සෙබළා රා බී වෙරිවී කළු කොඩිය පමණක්‌ ගෙන ගොස්‌ පෙන්නුවේය.

බැලුම්ගල මත රැස්‌වී බලා උන් බිසෝවරු කළු කොඩිය දැක තම රජු සටනින් පැරදුනේ යයි සිතා හැටහත් කට්‌ටුවම ගලපල්ලට පැන දිවි නසාගත්තේය. ඌ දුද්දුරයා නමින් යකෙක්‌ වී උපන්නේය. වීරාගල් පුර අග බිසොව ගලෙන් පැන මළ නමුත් ඒ බසවගේ ළඳරු පුත් කුමරා මාළිගයේ නිදාගෙන සිටියේය.

රජවාසලට සළු තොයිල් කරන හළු ස්‌ත්‍රීය ඇවිත් බැලූ කළ බිසෝවරුන් පෙනෙන්නට සිටියේ නැත. සොයාබැලූ විට බිසෝවරුන් ගලපල්ලට පැන මැරී සිටිනවා දැක්‌කාය. මාලිගාව ඇතුලට ගොස්‌ බැලූ විට කුඩා කුමාරයා නිදා සිටිනවා දුටුවාය. බිසවකගේ රන් හවරියක්‌ද වැටී තිබෙනු දැක ඈ ඒකත් අවුලා ඔක්‌කෙයි සඟවා ගත්තාය. ඊට පසු හළු ස්‌ත්‍රීය කුමාරයා රවටා ඇගේ නිවසට ගෙන ගියාය.

බුවනෙකබාහු රජු වීරාගල් පුරට ඇවිත් බැලූ කළ බිසෝවරුන් සියලු දෙනාම ගලෙන් පැන මළ බව දැක උසුලාගත නොහැකි ශෝකයෙන් තෙමේ ද ගලෙන් පැන දිවි තොරකර ගත්තේය. දඹදෙණියේ විසූ වාරියපොළ යුවරජු මෘත ශරීර ආදාහන කරවා කුරුණෑගලට ගොස්‌ වත්හිමි කුමරාට සියලු තොරතුරු කීවේය.

මේ ඇසූ කුමාරයාද කඩුවෙන් ගෙල සිඳගෙන මැරෙන්ට උත්සහ කෙළේය. යුව රජු ඊට ඉඩ නොදී අවවාදකර කුමාරයා ඔටුනු පලන්දා කුරුණෑගල රජකමට පත්කළේය.
හළු ස්‌ත්‍රීය කුඩා කුමාරයා තම නිවසේ නවතාගෙන සිටින විට වීරාගල් පුර මියගිය බිසෝවරු හීනෙන් පෙනී කුමාරයා ගොවිවංශයේ ගෙදරකට බාරදෙන ලෙස කීවෝය.

එයින් තැතිගත් ඈ කුමාරයා ගෙන ගොස්‌ හැඩිපන්නල ගමරාළට බාරදුන්නේය. කුමාරයා, ඒ ගමගෙදරට ගිය නොබෝ දවසකින් ගමරාළගේ කුඹුරක (පොතු නැති වී) හාල් පැසී තිබුණේය. ඒ දුටු ගමයා එතැන් සිට කුමාරයා මහත් ආදරයකින්
වැඩුවේය.

මෙසේ පසුවන අතර වත්හිමි අග රජ බිසවගේ කුමාරයා ගැන රහසින් සෙවිල්ලෙහි යෙදී උන්නේය. කුමාරයා නැවතී සිටි ගෙදර ගමරාල සමඟ එදිරි කමෙන් පසුවුන ගලබද්දේ හෙවත් ගල්බොඩගම ගමරාල වත්හිමි රජු වෙත ගොස්‌ හැඩිපන්නල ගෙදර රූමත් කුමාරයකු සිටින බව කීවේය.

ඒ ඇසූ වත්හිමි රජ කුමාරයා අල්ලා මරන ලෙස නියෝග කර කටුපුල්ලේ මාර පණිවුඩකාරයන් පිටත් කෙළේය. කුමාරයා මැරීමට කටුපුල්ලෙන් එන බව දත් හළු ස්‌ත්‍රීය වහාම ගමගෙදරට ගොස්‌ කුමාරයා සැඟවීමට කීවාය. ගමරාල කුමාරයා හගවත්තේ ගෙදරක සඟවා තැබුවේය. කුමාරයා සොළොස්‌ වියට පත් වූ කළ හළු ස්‌තී්‍රය කුමාරයා ගෙන ගොස්‌ නාරම්මල පෙදෙසේ රනාවත්තේ ගම්ලත් රාළට බාරදී රැක බලා ගන්නා ලෙස පැවරුවේය.

එහිදී කුමාරයා ගොවිතැන් කිරීමට ගම්ලත් රාළගෙන් ආවුද ඉල්ලුවේය. කුමාරයාට උවමනා නම් කම්මලට ගොස්‌ ආවුද සාදවා ගන්නා ලෙස ගම්ලත් රාළ කීවේය. කුමාරයා කම්මලට යන විට ගල්ලද්දා (ගුරුනයිදේ = ආචාරියා) ආහාර අනුභව කරමින් සිටියේය. කුමාරයා උදැල්ලක්‌ තනා දෙන ලෙස කීවේය.

ආචාරියා ඊට කෝප වී "උඹට ඕනෑනම් හදාගන්නැ" යි කියා කෑම කෑවේය. එවිට කුමාරයා යකඩ බොර ටිකක්‌ අවුලා කම්මට්‌ටියට දමා උණු කෙළේය. එය කදිම යකඩයක්‌ වූ බව දුටු ආචාරියා වහාම උදැල්ලක්‌ තළා ගම්ලත්රාළ හමුවීමට ගොස්‌ එය බාරදී එම තරුණයාට ගම්ලත් රාළගේ දියණිවරු හත්දෙනාගෙන් කෙනෙක්‌ පාවා දෙන ලෙස ද කියා යන්ට ගියේය.

ඒ ඇසූ ගම්ලත් රාළ දූවරු හත්දෙනා ළඟට කැඳවා මේ තරුණයා සමඟ යන්ට කැමති කවුරුදැයි විචාළේය. වැඩිමල් හයදෙනා අකමැති වූහ. බාල සිරිමල් එතනා
සතුටුව අප්පුහාමි නමින් සිටි කුමාරයා සමඟ විවාහ වූවාය.

එක්‌ දවසක්‌ කුඹුරක්‌ සානා පිණිස ගවයන් බානක්‌ ඉල්ලා ගෙනෙන ලෙස රනාවත්තේ පසිදුරයා වෙත අප්පුහාමි (කුමාරයා) යැවුවේය. දුරයා ගවයන් දෙන බව කියා තුන් දිනක්‌ ම අප්පුහාමිට එන්ට කියා හරක්‌ නොදී රැවැට්‌ටුවේය. හතර වෙනිදාත් අප්පුහාමි ගවයන් ඉල්ලීමට එනු දුටු දුරයාගේ බිරිඳ කථාකොට "අර ළමයාට හරක්‌ දෙනවානම් දෙනවා, නැත්නම් නැතේ නොකියා මොකද මේ හැමදාම එන්ට
කියලා රවටන්නේ" යි සැමියාට දොස්‌ කීවාය.

එවිට සැමියා කෝපවී මෙසේ කීය. "එහෙනම් ඕකා රජවී මා නඟුල් ඉහේ උල තියාවි. මගේ හරක්‌ මම දෙන්නේ නෑ. උඹේ හරක්‌ ඉන්නවානම් දීපන්" යි කියා බිරිඳට බැණ වැදුණේය. අප්පුහාමි ආපසු ගොස්‌ හරක්‌ නොදෙන බව ගමරාළට කීවේය. එවිට මාමා (සිරිමලීගේ පියා) "අන්න අර කදුවල ඉන්න මගේ කුළු හරක්‌ පුළුවන් නම් අල්ලා ගන්නැ" යි කීවේය.

කුළු හරක්‌වත් අල්ලා ගැනීමට මයිලණුවන්ගෙන් අවසර ලැබුණු පසු අප්පුහාමි කෙවිටක්‌ ගෙන කෙතෙහි සිටුවා "මට රජකම ලැබෙනවා සත්‍ය නම් කුළු මීමුන් ඇවිත් කෙවිටට කර ගසත්වා" යි සත්‍ය කි්‍රයා කර ගෙදර ගියේය.

මේ කාලයේ කුරුණෑගල් පුර රජය කළ වත්හිමි රජ මුස්‌ලිම් ආගම අදහන බැවින් ද මහමදාගම්කාරයන්ට වැඩි සැලකිලි දක්‌වන බැවින් ද රජවාසල ඇමැතිවරයකු වූ දෙනගමුවේ නිලමේ සහ විල්බා ගෙදර මොහොට්‌ටාල නිලමෙද අනික්‌ නිලමේවරුන් සමඟ සාකච්ඡා කොට රජු මැරවීමට උපායක්‌ යෙදුවෝය.

ඇතුගල් මුදුනේ පිරිත් දේශනාවක්‌ ආරම්භ කරන ලදී. පිරිත් මණ්‌ඩපටක්‌ සාදා සැට නමක්‌ සංඝයා ලවා පිරිත් දේශනා කරන අතර රජතුමා එහි කැඳවාගෙන යන්නට කටයුතු සලසා තිබුණි. රජු සමග ගලවටේ ඇවිදින ගමන් රජු පෙරළා දැමීමට ශක්‌තිමත් නිර්භීත මිනිස්‌සු ද තැන් තැන් වල නවත්වනු ලැබූහ.

මොහොට්‌ටාල රජු අම් සභා මඩුවට කැඳවා ගෙන ගොස්‌ පසුව ගල මුදුනට නැගී නගරයේ අවට සිරියාව බලා යන ගමන් සැඟවී සිටි සතුරන් ලවා රජු ගලෙන් පාතට පෙරළා දැම්මෙව්වේය. (මරුමුවට පත් රජු යකෙක්‌ වී ඉපිද බණ මඩුවේ උන් සංඝයා ඇතුළු සියලු දෙනාගේම ගෙල මිරිකා මරා දමන ලදැයි කියනු ලැබේ.

ගලේ බණ්‌ඩාර නමින් ගලපාමුල දේවාලයේ අධිගෘහිතව ඉන්නේ ඔහුය. මෙහි කපුරාළ ලා වශයෙන් කටයුතු කරන්නේ මරක්‌කල මිනිසුන්ය.)වත්හිමි බණ්‌ඩාරගේ මරණින් පසු ඇමැතිවරුන් ඇතුළු රටවැසියෝ රජකමට හිමිකාරයෙකු සෙවීම පිණිස
ඇතු සරසා පිටත් කළෝය.

ගම්ළත් රාළගේ නිවසේ නතර වී සිටින අප්පුහාමි පසුදින කුඹුරට ගොස්‌ බැලූවිට කුළු හොන් ඇවිත් කෙවිටට ගෙල තබා සිටින බව දැක්‌කේය. අප්පුහාමි (කුමාරයා) උන් අල්ලා බැඳ සීසාන්ට පටන් ගත්තේය. සිරිමල් එතනා දවල් ආහාරය ගෙනැත් දුන්නාය. අප්පුහාමි ආහාර අනුභව කර විඩා සංසිඳුවා ගැනීම පිණිස සිරිමල් එතනාගේ ඇකයට හිස තබා මඳක්‌ නිදා ගත්තේය.

එ සේ නිදියන කල තම දකුණු පයේ මාපටගිල්ලේ පණුවන් සිරින බව සීනෙන් දැක අවදිවී ඒ බව සිරිමල් එතනාට කීවේය. එවිට ඈ "එහෙනම් අද රජකම ලැබේවි" යයි කියා සරදම් කළාය. නැවතත් හිස තබා නිදාගත් කළ අප්පුහාමි යළිත් හීනයක්‌ දැක්‌කේය. තමාගේ නඟුලේ වීයබැදි තැන මීයක්‌ බැඳ තිබෙනවා එවර හීනෙන් දැක්‌කේය.

ඒ හීනය ද සිරිමල් එතනාට කීවේය. ඒකටත් ඈ "අද ඔබට රජකම ලැබේවි" විහිළු කළාය. තුන්වැනි වරටද නින්දට වනි. ඒ වතාවේ නින්ද ගිය කළ හිරු සඳු දෙදෙනා තමාගේ දෙඅත්ලට ඇවිත් තිබෙන බව දුටුවේය. ඒ ස්‌වප්නයද සිරිමලීට කී කළ ඈ සරදම් කරමින් "අර ඇහෙන්නේ රජකම ගෙනෙන අණ බෙර හඩ" යයි කීවාය.

ඊට ස්‌වල්ප වේලාවකට පසුව ඇත්ත වශයෙන්ම සැරසූ මඟුල් ඇතා සමඟ
රාජපුරුෂයෝ ඇතුළු පෙරහැර ආවේය. අප්පුහාමි (කුමාරයා) මේ වෙලාවේ කුඹුර හාමින් සිටියේය. පෙරහැර දුටු හැටියේ කුමාරයා (අප්පුහාමි) සහ සිරිමලිත් දිවගෙන ගොස්‌ ගලක්‌ උඩට නැගි බලා සිටියහ.

ඇතා කුමාරයාට දණගසා නමස්‌කාර කිරීමට ඇවිත් ගල ළඟ නැවතුණේය. ඇතු දණ නොගැසුවේ සිරිමලිත් ඒ ළඟ සිටි නිසයි. කුමරාගේ පින් බලෙන් ගල පැලී දෙකට වෙන්වී කුමාරයා සිරිමලීගෙන් වෙන්කරනු ලැබුවේය. එවිට ඇතා කුමාරයාට නමස්‌කාර කළේය. "මේ කුමාරයාට රජකම ඒකාන්තයෙන් හිමිනම් තව වරක්‌ ඇතු දණ ගසාවා" යි නිලමේවරු සත්‍යකි්‍රයා කළෝය. ඒවරද ඇතු දණගසා නමස්‌කාර
කෙළේය.

ඊට පසු නිලමේවරු මේ වීරාගල විසු අග බිසවගේ පුත් කුමරා බවත් හළු ස්‌ත්‍රීය විසින් සඟවා ගෙන ගොස්‌ හදාගත් අන්දමත් රැස්‌වූ ජනයාට විස්‌තර කියා දුන්හ. කුමාරයා අසල තිබුණු ගල් වළකින් මඩ සොදා ගත්තේය. එවිට යුවරජ තුමා විසින් ඉව පණ්‌ඩිත පරාක්‍රම බාහු නමින් කුමාරයා අභිෂේක කරනු ලැබුවේය.

රජතුමා ස්‌වකීය අගබිසව හැටියට සිරිමල් එතනාද ශ්‍රී වර්ධන බිසව නමින් පත්කර ගත්තේය. ඉක්‌බිති රජු සහ බිසවත් ඇතුපිට නැගී යන කල සිරිමලීගේ අක්‌කා කළුඑතනා පිරිස්‌ මැද සිටිනවා දැක "මන්දැ කළුවේ පින් නොකළේ" යි කීවෙලු. මෙයින් පසු කුරුණෑගල සිංහාසනය යොනා කැත කලාය කියා රජු දඹදෙණියට ගියේය.

කුමාරයා ගමගෙදර සිටින කාලේ සී සෑමට ගචයන් දෙන බව කියා තුන් දිනක්‌ම තමා රැවටූ රනාවත්තේ දූරයා සියක්‌ බානේ මුල නඟුල ගෙන සී සාමින් සිට රජු එනවා දැක දුවන්ට පටන් ගත්තේය. රජතුමා ඔහු අල්ලවා නගුලිස ගලවා නියර මත තබා ඊපිට උලතබා මැරෙව්වේය.

පසුව දූරයාගේ බිරින්දෑ ගෙන්වා ඈට කුඹුරක්‌ තෑගි කර දුන්නේය. (ඒ කුඹුරට කනතුරැවෙල යයි කියති. දූරයා උල තැබූ තැන දැන් වල් කැප්පෙටියා අරණක්‌ වී ඇති. කුමාරයා මඩ සේදූ ගල් වළේ අද දක්‌වා වතුර බොර පාටය.)
දඹදෙණියට ගිය රජතුමා පළමු කොටම තමා ළඳරු කාලේ සඟවා ගෙම ගොස්‌ දිවි රැකදුන් හළු ස්‌ත්‍රීය ගෙන්වා ඈට ගම්වරක්‌ දී රන් හවරිය සොරකම් කළ නිසා කවට කමක්‌ වශයෙන් රන් "හවරිගෙ" යන පෙළැන්ති නාමය භාවිතා කරන හැටියට ද නියම කළේය.

මීළඟට රජු කළේ 'කටුගම්පොළ රජාය' කියා සිටි ආබෝ රජුගේ පුත් මාබෝ කුමරු සමඟ සටනක්‌ කර ඔහු මරා ඒ ප්‍රදේශය අත්කර ගැනීමය. කටුගම්පොල රජුගේ ඇතා මළ තැනට ඇත් මලකඩයයි කියති. ආබෝ රජුගේ බිසවුන් දෙන්නාවු සීලවතී සහ සෝමාවතී දිවිනසා ගත්හ. සීලවතී වහකොළ කා මළාය.

සෝමාවතී දිය වළකට පැන මළාය. දඹදෙණියට නුදුරු ගමක විශිෂ්ට රූපශී්‍රයෙන් යුත් තරුණ හළු ස්‌ත්‍රීයක්‌ උන්නාය. ඇගේ සැමියා දක්‌ෂ ගල්වඩුවෙකි. ඒ මිනිහා ස්‌වකීය භාර්යාව රජතුමාට මිත්‍රකර දුන්නේය. මිනිහා ගෙදර අතර රජු එහි
ගියේය.

එක්‌ දවසක්‌ ඒ මිනිහා රජු එහි එන වෙලාව බලා සිට තවත් දුරාචාර බේබදු තක්‌කඩි පිරිසකුත් සමඟ රා බී වෙරි වී ඇවිත් රජතුමා ගෙදරින් පිටවී යන්න දොරට බහින කල පොලුවලින් ගසා මරා දැම්මේය. රජුගේ මෘත දේහය වළකට දමා පස්‌වසා නොදැනෙන සේ සමතලාකර දැමීය. රජතුමා සිරිත් පරිදි මාලිගයට නොආ බැවින් සෝදිසි කාරනාකර ගල්වඩුවා ඇතුළු මිනිසුන් විසින් මරා දමන ලද බව දැන ගන්ට ලැබී ඔවුන් අල්ලා විභාගකර අපරාධකාරයන් මරා දැමූහ.

ගල් වඩුවා දඹදේණියේ ගල උඩ හිරගෙයි සිරකර තබන ලදී. පසුව බිරින්දෑගේ උපායකින් ඔහු බේර