සතහට වැළදි රෝගය සුව නොවෙන කලා
ඈත යකැදුරන් ගන්නා තටුවට තොයිලා
නෙත පිට පෙනෙයි කුකුලෙකු විමනේ පුරලා
සත ලෙස ලේලි බල සිව්කොන පැදුර මුලා
වෙනයම් දෙයක් නොකෙලෙමි ලොව දැනගන්ට
වියමන ටිකක් දැනගති රැක පසුවෙන්ට
බින්න බොරු බසක් නැන්දේ පවසන්ට
කොලදිවියෙක් වියමි කුකුලන් පැන කන්ට
සෙත්සිරි උතුම් වරුනේවද කියන්නේ
මේ සිරි දහම් තුන්ලොව පැතිරී එන්නේ
සෙත්සිරි වඩන වජ්රාසන බබලන්නේ
මරසෙන් පැදුර මම ලේලිට විය දුන්නේ
විස්‌තර රුවැති බෝමැඩ පැදුරට වියති
සතහට දහම් උතුමැයි මම දැන කියති
බෝමැඩ විදුරසුන් පැදුරට වියා දෙති
රැස් මහ සේනාව බිඳුවාලා වියති
පෙර කළ කුසලයෙන් අපි දෙන්න එක් උනේ
වැරසැර නොගෙන පවතිනු එකම සිතකිනේ
මිතුරු කමට කල් අරිමුව සැම සිතිනේ
ලේලි නොවෙයි මගෙ අම්මා කෙනෙක් අනේ
සිතු නෙක අදර මගෙ බස් අසනු නොව සැක
සිතුවට දෙදෙන තැනුවා දෙවියෝම රැක
ඇතිමුත් වරද දුරහැර දමන නොම දුක
මතු අපි දෙදෙන උපදිමු මවු එක කුසෙක
කමකට නැති වැඩ අතහරිමින්නේ
හරියට ලොව කල් ඇර පවතින්නේ
බැරිනැටු මට කිසි කලෙක නොයන්නේ
වැලමිට සිටියකු ආවෙස වෙන්නේ