මිනිසා විසින් බහුලව ම පාවිච්චි කරන ලෝහය වන්නේ යකඩයි. යකඩ අඩංගු ලෝපස්වලට යපස් යැයි කියනු ලැබේ. ප්‍රධාන යපස් වර්ග කිහිපයකි. එනම්,
(1) හීමටයිට් Fe2O3 (2) මැග්නටයිට් Fe3O4
(3) ලිමොනයිට් Fe2O3 (4) සිඩරයිට් FeCO3
මේ හැර යකඩ අඩංගු ඛනිජයක් වන අයන් පයරයිට්ස් (feS2) යකඩ නිෂ්පාදනය සඳහා යොදා නොගනී. ඊට හේතුව එමගින් ඇති වන අධික පරිසර දූෂණයත් එහි අඩංගු සල්ෆ වෙන් කිරීමට ඇති අපහසුවත් නිසා ය.
ඉහතින් දැක්වූ ලෝපස් අතරින් යකඩ නිෂ්පාදනය සඳහා බහුලව යොදා ගන්නේ හීමටයිට් ය. මෙහිදී හීමටයිට් සමඟ ඉහළ මට්ටමින් තාපය ලබා දෙන ගල් අඟුරු විශේෂයක් වන කෝක් මිශ්‍රකර ඉහළ උෂ්ණත්වයකට රත් කරනු ලැබේ. මෙය සිදු කරන්නේ ධාරා ඌෂ්මකයක් තුළදී ය. ඉහත ද්‍රව්‍යවලට අමතරව හුණුගල් යොදනු ලැබේ. හුණුගල් යෙදීමෙන් යකඩ සමඟ ඇති සිලිකා වැලි වැනි අපද්‍රව්‍ය පහසුවෙන් ඉවත් කර ගත හැකිය.
9.3 රූපයේ අඩංගු ධාරා ඌෂ්මකය දෙස බලන්න. මෙයට අවශ්‍ය ද්‍රව්‍ය ඌෂ්මකයේ ඉහළින් ඇතුළු කරනු ලැබේ. ඌෂ්මකයේ පහළ පෙදෙසින් උණුසුම් වාතය ඇතළු කර කෝක් ගිනි ගැනීමට සලස්වනු ලැබේ. ඌෂ්මකය තුළ උෂ්ණත්වය 1500 C ට වඩා අධිකය. මෙය තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියා පහත දැක්වෙන ආකාර වේ.
(1) කෝක් සමග ඌෂ්මකයට ඇතුළු කරන වාතයේ අඩංගු ඔක්සිජන් ප්‍රතික්‍රියා කර කාබන් ඩයොක්සයිඩ් වායුව සෑදේ.
C + O2 - CO2
(2) මෙම කාබන් ඩයොක්සයිඩ් තවදුරටත් කෝක් සමඟ ප්‍රතික්‍රියා කර කාබන් මොනොක්සයිඩ් වායුව ලබා දෙයි.
CO2 + C - 2CO
(3) කාබන් මොනොක්සයිඩ් වලට අමතරව කාබන් සමඟ යකඩ ඔක්සයිඩ් ප්‍රතික්‍රියා කිරීමෙන් ද යකඩ ලැබේ.
Fe2O3 + 3C - 2Fe +3CO
මෙහි දී සෑදෙන යකඩ ද්‍රව තත්ත්වයෙන් ඌෂ්මකයේ පහළට එක්රැස් වේ. මෙහි ප්‍රධාන වශයෙන් අපද්‍රව්‍ය ලෙස උණු වූ සිලිකා වැලි අඩංගු වේ. මෙම අපද්‍රව්‍ය නිසි අයුරින් ඉවත් නොකළ හොත් ඌෂ්මකයේ ක්‍රියාවන්ට හානි පැමිණේ. මෙම අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා හුනුගල් උපයෝගි කරගනු ලැබේ. හුනුගල් සිලිකා සමඟ ප්‍රතික්‍රියා කර ලෝබොර සෑදී ඒවා ඌෂ්මකයේ පහළට ඉහළින් ඇති සිදුරකින් ඉවත් වේ. එය සිදුවන ආකාරය පහත දැක්වේ.
1) ඌෂ්මකයේ ඇති අධික තාපය හමුවේ හුනුගල් වියෝජනය වේ.
CaCO2 - CaO + CO2
2) එවිට ලැබෙන කැල්සියම් ඔක්සයිඩ් විලීන තත්ත්වයේ ඇති සිලිකා වැලි සමඟ ප්‍රතික්‍රියා කරයි.
CaO + SiO2 - CaSiO3
(වැලි) කැල්සියම් සිලිකේට්
(ලෝබොර) (යබොර)
මෙසේ සෑදෙන ලෝබොර ද්‍රව යකඩවලට ඉහළින් පාවෙන අතර ඒවා ඌෂ්මකයේ අඩංගු යබොර කටින් ඉවතට ගනු ලැබේ.