ලෝහ නිස්සාරණය සඳහා බලපාන විවිධ සාධක
 

ලෝපස් නිධිය ආර්ථිකව වාසිදායක වුවද ලෝහ නිස්සාරණය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු කරුණු ගණනාවක් වේ.

1. ලෝපස් නිධියේ ස්වභාවය : සමහර ලෝපස් නිධිවල ඇති ඛනිජ තත්ත්වයන් බාලය. සමහර වර්ග තත්ත්වයෙන් ඉතා ඉහළ ය. එසේම ඉතා දුෂ්කර ප්‍රදේශයක ඇති ලෝපස් නිධි සහ පොළොවේ ගැඹුරු මට්ටම්වලින් ඇති ලෝපස් නිධි කැණීම සඳහා වැය වන මුදල වැඩිය.

2. ඉන්ධන සඳහා යන වියදම : ලෝහය නිස්සාරණය සඳහා යොදා ගන්නා කාබන්, තෙල් වර්ග වැනි ද්‍රව්‍ය ලබා ගැනීමට ඇති පහසුව සහ මිල.

3. කර්මාන්ත ශාලාව ගොඩනැංවීමට යන වියදම : ලෝක නිස්සාරණයට යොදා ගන්නා ඌෂ්මක ගොඩනැංවීමට යන වියදම හෝ විද්‍යූත් විච්ඡේදක උපකරණ සඳහා වියදම්, ගොඩනැඟිලි, වාහන, කැනීම් යන්ත්‍ර සඳහා වන වියදම.

4. කර්මාන්තය පවත්වාගෙන යාමට වැය වන වියදම : පඬිනඩි සහ නඩත්තු වියදම්.

5. ලාභදායකව මූලික පහසුකම් ලබා ගැනීම : විදුලිය, ජලය. තෙල්, ගල්අඟුරු වැනි අත්‍යවශ්‍ය සැපයුම් සඳහා වන වියදම.

6. නිෂ්පාදනය කිරීමේ ධාරිතාව : සමහර ලෝහ වර්ග මහා පරිමාණයට නිපදවීම සුළු පරිමාණයට නිපදවීමට වඩා ලාභය.

7. ලෝහයේ ඉල්ලුම : නිපද වූ ලෝහයේ විකුණුම් මිල සහ වෙළෙඳපොළේ තරඟකාරිත්වයට මුහුණ දීමේ දී ඇති වන ගැටළු ජය ගත හැකි ආකාර.

ලෝහ නිස්සාරණය සඳහා කර්මාන්ත ශාලාවක් පිහිටු වීමේ දී ඉහත කරුණුවලට අමතරව මතු වන තවත් ගැටලු රැසක් වේ. ලෝහ නිස්සාරණ කටයුතු වලදී විවිධ පරිසර ගැටලු රැසක් අනිවාර්යයෙන් මතු වේ. එබැවින් කර්මාන්තශාලා පිහිටුවීමේ දී නිෂ්පාදකයාට විවිධ අභියෝග රැසක් ජයගත යුතුව ඇත. විශේෂයෙන්ම ආර්ථික, සමාජීය සහ පරිසර සාධක තුළනය වන සේ කම්හලක් පිහිටුවීම ඉතා වැදගත් වේ. මෙය එතරම් පහසු ද නොවේ. ලෝහ නිධිය අසලම කම්හල වඩා ලාභදායකය. ශක්ති සැපයුම අසීරු වූ විට කම්හල අසලම වඩා වාසිදායකව ශක්තිය ලබා ගත හැකි ශක්ති ජනකයන් පිහිටුවීම අවශ්‍ය වේ. සමහර විට නිෂ්පාදන වියදම් ගැන සලකා කම්හල වරායකට කිට්ටුව පිහිටුවීම වැදගත් වේ. විශේෂයෙන් පිටරට වලින් ලෝපස් සහ ඉන්ධන ගෙන්වා ගැනීමේ දී මෙය බලපායි. කම්හලේ නිපදවන අපද්‍රව්‍ය, පරිසර දූෂක ද්‍රව්‍ය ආදිය නිසා පරිසර සහ සමාජික ගැටළු රැසක් ඇති විය හැකිය. එසේම අනතුරු ප්‍රමාණ අවම වන සේ නිෂ්පාදන කටයුතු ගෙන යාමත් ඉතා වැදගත් වේ. එබැවින් ලෝහ නිෂ්පාදනාගාරයක් යනු ඉතා සුපරික්ෂාකාරිව අත තැබිය යුතු කර්මාන්තයකි.

(c) Shilpa Sayura Foundation 2006-2017