ලෝහවල සක්‍රියතාව
 

ඉහත ක්‍රියාකාරකම් වලින් පසු සෝඩියම් ලෝහයේ ස්වභාවය ඔබට හොඳින් තේරුම් යනු ඇත. එය ඉතා සක්‍රිය ලෝහයක් නිසා වාතයට නිරාවරණය කර ටික වේලාවක් ගිය පසු එහි ලෝහමය දිලිසෙන සුදු පැහැය නැති වී යනු ඇත.

වාතයේ ඇති ඔක්සිජන් සෝඩියම් ලෝහය සමඟ ප්‍රතික්‍රියා කර සුදු පැහැති සෝඩියම් ඔක්සයිඩ් සෑදේ. එබැවින් සෝඩියම් ගබඩා කර තබන්නේ භූමිතෙල් තුළ ය. එහි ඝනත්වය ජලයට වඩා අඩු ය. භූමිතෙල් වලට වඩා වැඩිය. එබැවින් එම ලෝහය ජලය මත පාවෙන අතර භූමිතෙල් තුළ ගිලේ. පිහියකින් කැපිය හැකි තරමට එම ලෝහය මොළොක් ය.එය යකඩ මෙන් තද ලෝහයක් නොවේ. සෝඩියම් ලෝහය සෙමින් රත් කළ විට එය ද්‍රව වේ. ඉන්පසු පහසුවෙන් දහනය වී සෝඩියම් ඔක්සයිඩ් සාදයි. සෝඩියම් කැබැල්ල ජලය මතට දැමූ විට එය ක්ෂණිකව ජලය සමඟ ක්‍රියාකර හයිඩ්රජන් වායුව පිට කරයි. එ සේම ප්‍රතික්‍රියාවෙන් පසු ජලයට රතු ලිට්මස් කැබැල්ලක් දැමූ විට එය නිල් පැහැයක් ගනී. ජලය ක්ෂාරිය ද්‍රාවණයක් බවට පත් වී ඇති බව ඉන් පැහැදිලි වේ.

ඔබගේ නිවසේ ඇති තවත් බහුල ලෝහයක් වන්නේ යකඩයි. විවිධ භාණ්ඩ වර්ග සහ ඒවායේ කොටස් සෑදීමට යකඩ යොදා ගනී. එ සේම ස්වර්ණාභරණ සෑදීමට බහුලව යොදා ගන්නා ලෝහයක් වන්නේ රත්රන් ය. එම ලෝහ වර්ග වල හා සෝඩියම් වල ඇති විවිධ ගුණ කෙබඳුදැයි සසඳා බලන්න.

රසායනිකව සෑම ලෝහයක් ම එකම ආකාර නොවේ. සමහර ලෝහ රසායනිකව සක්‍රිය බවින් වැඩිය. සමහර ලෝහ තරමක් සක්‍රිය ලෝහ වේ. ලෝහ වර්ගවල රසායනික සක්‍රියතාව අනුව අපට ශ්‍රේණියක් සකසා ගත හැකි නම් එය විවිධ ලෝහවල රසායනික ගුණ පිළිබඳව අපට චිත්‍රයක් මවා ගැනීමට මෙන්ම එදිනෙදා ජීවිතයේ දී එම ලෝහ වර්ග ප්‍රයෝජනයට ගත හැකි විවිධ ආකාර ගැනද සිතාගත හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017