තුන්වන පිටුව
 

මන්ද නගේ ඇයි කල් පසු කරන්නේ
යන්ඩ මෙලහකට දරුවා අඩන්නේ
උන්ඩ මෙලහකට කොල්ලන් තලන්නේ
යන්ඩ ලහියෙ පන් බැඳගන්ලා නෑනේ

පන් මිටි බැඳලා අරගත්තුය ඉසට
යන් කියලා අඟනෝ සෑදුනේ රුවට
මන් බැසලා අඟනෝ සෑදුනේ රුවට
පන් ඉරලා වියමුය පැදුරක්‌ එවිට

ගෙනත් එපන් අව්වේ ලා වේලමිණ
නොබා පන් ඉරති අඟනෝ වෙනින් වෙණ
සුබා මුල්ල පුරමින් පන් මිටක්‌ ගෙණ
දෙපන් රටාවෙන් වත් යන්තම් ගොතණ

ඉරා එවිට පන් ඉරු කැටියක්‌ රැගෙණ
නුරා ලඳුන් පීරුවේ පැඳුරක්‌ රැගෙණ
ගිරා තුඩු සේ රන්කුඹු ලැම තුළ ඔබිණ
මෙලාගයෙන් අඟනෝ පැදුරක්‌ පුරණ

පුරා කොනින් ලද පැදුරක්‌ පුරන්නේ
ඉරා එපන් ගෙන සායන් පොවන්නේ
සරා මල් පෙතින් වටකර වියන්නේ
රටා පියුන් පන්නන් පත් වියන්නේ

ඉසට පියුම් ලා කොට්‌ටේ වියඤ්ඤා
පයට පියුම් ලා කොට්‌ටේ වියඤ්ඤා
මැදට ඇද රටා ඇස්‌ පන් වියඤ්ඤා
කෙතට සතර මුල් අර දග වියඤ්ඤා

(c) Shilpa Sayura Foundation 2006-2017