උල්වූ තළල්ලක්, රුදුරු දෙනෙතක්, යටි තාළ නොමැතිව උල් දත් කිහිපයක් ඇති මුඛයක් මෙම සන්නි යකාගේ ස්වරූපය වෙයි.
කෝළ වෙලා උඩබිම බලමන්නේ
ලීල නොකර බඩ ලෙඩ කරවන්නේ
දෑල උගුරේ ගෙඩි දෙක හට ගන්නේ
කෝළ සන්නි පුද ඉල්ලා එන්නේ
මෙම යකුට පැමිණීමට ආරාධනා කිරීමෙන් අනතුරුව සන්නි යකා පැමිණේ. යකා ආතුරයා දෙසට යන මග බාධාවකි. නාථ, සමන්, පත්තිනි දෙවි වරුනුගේ ආඥාව අනුව මුර සෙබළු මෝල් ගස් දෙකක් කතිර හැඩයට තබා අල්ලාගෙන යකාට යන්නට නොදෙති.
සැර පරුෂ කර බලෙන් යාමට උත්සාහ ගන්නා යකා පසුව කෙසෙල් හා කැවිලි වර්ග දෙන බව කියා යාමට අවසර ඉල්ලයි. අවසානයේ මේ කඩවත බුදුරදුගේ කඩවතක් බව මුර සෙබළු පවසති.
බුදු රදුන්ගේ සන්නසක් ගෙන ආවොත් යන්නට දෙන බව කියූ පසු යක්ෂයා තල්පතක් ගෙන කකුලේ ඇගිල්ල මත තබා එය දෙයි. එය පිළිගත නොහැකි බවත් ගරු සරු ඇතිව දිය යුතු බවත් මුර භටයෝ කියති. එවිට යකා දණහිස, උරහිස, නාසය මත තබා සන්නස භාර දී ඒ කිසි අයුරකට එකඟ නොවීම නිසා අවසානයේ හිස මත තබා භාර දෙයි. එවිට එහි ඇති දෙය කියවන ලෙස කියා සිටී. එවිට යක්ෂයා හඬන්නට පටන් ගනී. බුදුහිමි තමන්ට මිනිස් ලොවට යාමට අවසර දී ඇතත් නරබිලි ගැනීම තහනම් කැර ඇති බව යකා පවසයි. මනුලොව රෝගීන් වෙනුවෙන් දොළ පුදගෙන රෝග දුරු කිරීමට බුදුන් නියම කැර ඇතැයි ද කියයි. ඉන්පසු යක්ෂයාගේ නපුරු ස්වභාවය අඩුවේ. කඩදොරින් යන්නට දෙයි.
ආතුරයා වෙත යන යක්ෂයා. තමාට කැප කර දෙන දෙල පිදේනි සියල්ල ඉන බැඳි තටුවට අසුරාගෙන කුකුළෙකු ද බිලි පුදට දුන් විට එයද රැගෙන ආතුරයාට සෙත් පතා යකා නික්මයයි.
එතැනින් දහ අට සන්නිය අවසන් වේ.