දසවන පිටුව
 

අනුවණ උඩගු අයගේ ගතියක සැටිය
ලැබගෙන පිහිට උතුමන් නොතකන සැටිය
දෙ නුවන විලස සලකා වැඩු ඇති සැටිය
සසොබන මහතුන්ට එම සලකනු වටිය

පිහිට ලබාගත් උතුමන්ට නොසැලකීම අනුවණ උඩගු අයගේ ගතියකි. තමන්ට කළ යහපත අගය කරමින් තම දෑස මෙන් සලකා ඒ හොද යහපත් උතුමන්ට ආදරයෙන් සැළකීම වටී.

හිත ඇතියන් දෙන බස්‌ නො අදහන සත
තම සතුරන් සිත් තොස්‌ වඩවයි සතත
අවගතියෙන් ගුණ දොස්‌ නොදැනෙයි නියත
එමවිපතින් සැම දොස පැමිණෙයි සියත

හිතවතුන් දෙන්නා වූ උපදෙස්‌ භාර නොගන්නා ජනයා එයින් තමාගේ සතුරාගේ සිතේ සතුට නිතර ඇති කරයි. වැරදි කල්පනාව නිසා නියත වශයෙන් ම හොඳ නරක නොතේරේ. එම වරද නිසි නියත ලෙසම සියලු දොස තමන් කරා පැමිණේ.

දෙගුරුන් ගුරුන් ඉටු දෙවියන් ලෙසසිතමු
උතුමන් බසින් ඉටු දෙවියන් දැන ගනිමු
එබැවින් නිතින් මෙ දෙවියන් වැඳ ගනිමු
බැලුමෙන් හොඳින් ගුරු දෙගුරුන් රැක ගනිමු

මවිපියන් හා ගුරුවරුන් (ප්‍රත්‍යකෂ) ඇසට පෙනෙන දෙවිවරුන් ලෙස සළකමු. උතුමන්ගේ වචනයෙන් ඉටුදෙවියන් දැන ගනිමු. එබැවින් නිතර මේ දෙවිවරුන් වඳිමු. හොදින් සොයා බලා ගුරු දෙගුරුන් රැක ගනිමු.

මවුපිය ගුරුන් වැඩිහිටියන් උතුමන්ද
පැවිදි උතුමන්ද සිල්වත් සුදනන්ද
සැළකිය යුතු මෙකී අය ඉදිරි එන සද
වඳිනු ය නැගිට ගරු බුහුමන් ලෙස පැහැද

මවිපියන් ද ආචාර්යවරුන් ද වැඩිහිටියන් ද උතුමන් ද හිමිවරුන් ද වැදගත් නිලධරයන් ද යහපත් අය ද යන සැළකිය යුතු මෙකී අය ඉදිරියෙන් එන විට ගරුබුහුමන් ලෙස පැහැදී නැගිට වඳින්න.

වැඩුනොත් යමෙක්‌ නිසි ගුරු අවවාදගෙන
සැපවත් කෙනෙක්‌ වනු නියතයි ප2/3වදන
එපවත් සිතට ගනිමින් දියුණු වනමෙන
යහපත් ලෙසට හැසිරෙනු ගුරු වදන ගෙන

යමෙක්‌ ගුරුවරුන්ගේ සුදුසු අනුශාසනා ලබාගෙන වැඩුනොත් ඔහු නියතයෙන් ම සැප ලබන අයකු වන බව පඬිවරුන්ගේ කියමන යි. මෙම කාරණා සිතට ගෙන දියුණුවීමට ගුරුවදන් අනුව හොඳින් හැසිරෙන්න.

සමා සිත් වේවා
හැමා දොස්‌ දුරු වේවා
මෙමා සිතු වේවා
ළමා පෙළහට ජයක්‌ වේවා

සිතේ සාමය ඇති වේවා
සියලු දොස්‌ දුරුවේවා
මගේ පැතුම ඉටුවේවා
ළමා පරපුරට දියුණුවක්‌ වේවා

(c) Shilpa Sayura Foundation 2006-2017