බීමට අපට පැන් ඇති මිහිපිට සොඳට
සැපයට සිතා මත්පැන් විස බොනු කුමට
වද යට දොලොව පැමිණෙයි ඒ පව් කමට
ලොබ කොට නො බොනු මත්පැන් කිසිකල සැපට
අපට බීමට මහ පොළොවෙහි හොදට ජලය තිබේ. සැපයක් සේ සිතා විස මත්පැන් බොන්නේ ඇයි ? ඒ පව් කම නිසා දොලොව වධයට පැමිණේ. සැපට ලෝභ කර කිසි කලක මත්පැන් නො බොන්න.
ලොබකර දන මිලට දියුණුව පතා ගෙන
ගොරතර අවමගට තුන්දොර නමා ගෙන
කරදර අන් අයට කරමින් තැනින් තැන
හිරිහැර සූදුවට නො බසිනු අවැඩදැන
ධනයට හා මුදලට ලෝභ කොට දියුණුව පතා ගෙන භයංකාර වැරදි මාර්ගයට (සිත, කය, වචන) තුන් දොර යොමු කොට තැනින් තැන අන් අයට කරදර කරමින් අයහපත දැනගෙන හිරිහැර ගෙන දෙන සූදුවට නො යන්න.
හිසකේ විදාගෙන යම් තැනකට නො යමී
හිසකේ විදාගෙන උතුමන් වෙත නො යමී
හිසකේ විදාගෙන දොරකඩ නොම ඉදිමී
හිසකේ විදාගෙන සබමැද නො ගැවසෙමී
හිස කෙස් විදහා ගෙන කිසි තැනකට නො යන්න. උතුමන් වෙත ද නො යන්න. දොරකඩ ද නො සිටින්න. පිරිස් ඉදිරියට ද නො යන්න.
මසුරු ගුණැති නො සිරිත් අය සැම වර
සිදුරු සොයති ගුණවත් අය දැක පවර
සොරු ගුණැති යහපත් අය කිසිම වර
මසුරු නො වෙති ගුණවත් අයද දැක පවර
සිරිත් විරිත් නොදන්නා බොහෝ මසුරුකමින් යුතු අය හැමවිට ම ගුණවත් අය දුටු විට ඔවුන්ගේ දොසක් සොයයි. උතුම් ගුණ ඇති යහපත් අය ගුණවත් උතුම් අයද #ක ගුණමකු නොවෙති.
නො සිරිත් ලෙසට කල් අරිනා අය නිතින
හරහත් යසට හැසිරෙන උතුමන්ට බැන
ගුණවත් අයට දොස් පවරා පව් නො ගෙන
යහපත් ලෙසට හැසිරෙනු උතුමන් ඇඳින
සිරිත් විරිත් නො සලකා කල්ගෙවන අය හැමවිට ම යහපතෙහි හැසිරෙන උතුමන්ට නින්දා අපහාස කරත්. පවිසිදු කර නො ගෙන උතුමන් හොඳින් හදුනා ගෙන යහපත් ලෙස හැසිරෙන්න.සොඳ ගුණ කියා පෙරමුණ බැහැරට ගොසින
ඇති ගුණ මකා නැති ගුණ ලොව පළ කරන
යස ගුණ මකා අවගුණ සිරිතට හැදෙන
මොහු ගුණ බලා බේරෙන ලෙස ගනු ඇඳින
යම් අයකු ඉදිරියේ දී ඔහුගේ හොඳ ගති ගුණ කියා පිටත දී පවත්නා උතුම් ගුණ වසා නරක මතු කර දක්‌වමින් යහපත් ගුණ මකා අයහපත් සේ ක්‍රියාකරන මේ දුර්ජනයන්ගේ ලකෂණ හදුනා ගෙන ඒ අයගෙන් තමා ආරකෂා විය යුතු ය.
සතුටින් යමෙකු කෑමක් දුන් විට බැතින
කියමින් එහි දෝස කනු හොඳ නැත පෙනුන
එලෙසින් අනුන්ගේ දේවල් කිසිත් ගැන
සොයමින් දෝස කීමද නොහොබී සිතන
යමෙක් සන්තෝෂයෙන් හා ආදරයෙන් යුතුව අහරක් දුන් විටක එහි තිබෙන අඩුපාඩු කථා කරමින් අනුභව කිරීම සුදුසු නො වේ. එසේ ම අනුන්ගේ දේවල් කිසිවක් ගැන සොයමින් දොස් කථා කිරීම ද නුසුදුසු බව සිතන්න.
