කාලයක් පුරා නොයෙක් ඇදුරු පරපුරු වලින් දහ අට සන්නි යකුන් පවත්වාගෙන ඒමේදී ඒවායේ විවිධ වෙනස් කම් සිදුව ඇත. විවිධ ගුරු කුළ හා ප‍්‍රාදේශීය වශයෙන් නිරමාණය වූ දහ අට සන්නි එකිනෙක වෙනස් කම් වලින් යුක්ත වේ. පළාතෙන් පළාතට මේවායේ භාවිත නම් වල සුළු වෙනස් කම් දක්නට ඇත. එමෙන්ම එකම සන්නියට විවිධ නම් ලැබී තිබේ. ගිනි ජල නමින් එන සන්නිය හා අග්නි සන්නිය යනු එකම සන්නියකි. එහෙත් ඇතැම් පළාත් වල මෙම නම් දෙකෙන් සන්නි නටනු දැක්නට ලැබේ.
සන්නි යක්ෂයින් දහඅට දෙනා මිනිසාගේ ශරීරය ලෙඩ කිරීමට බෙදා ගත් අයුරු සන්නි උපතේදී දැක්වෙන්නේ මේ ආකාරයෙනි.
මළ කඳ ඇතුලෙන් ඉපදුන කුමරෙකි
උණද සෙලෙස්මා වෙන් එක ගොල්ලකි
වායු, පිතෙන් එහි හට ගත් සෙනගකි
අතුරු නහරයෙන් හටගත් සෙනගකි
ඉසේ ලෙඩට පස් දෙනෙක් සදා ගති
කඳේ ලෙඩට අට දෙනෙක් සදා ගති
සන්ධි වලට දහ අටට බෙදා ගති
දවසට දහසක් මිනී මරා ගති
සන්නි යකුන් ගෙන්වා ඔවුන්ට නියමිත දොළ පිදේනි ඇප කැප කර දීම දහ අට සන්නිය නැටීමෙන් අපෙක්ෂා කරන දෙයයි. එම සාර්ථකව ඉටුකළ විට දහ අටක් වූ සන්නි රෝග සුව වන බව ගැමියන්ගේ විශ්වාසය විය.
සන්නි යකුන් රඟමඩලට පැමිණි විට සංවාදයේ යෙදෙයි. ඔවුන් බොහෝ විට පැමිණේනනේ බියකරු ස්වභාවයක් මවා පෙන්වමිනි. මළ, හත්තිලව්වයි, ආදී වචන කියමින් කෑ ගසයි. ඉතා ග‍්‍රාමීය වූ භාෂාවකින් සන්නි යකු සහ ඇදුරන් අතර සංවාදය සිදුවෙයි. බොහෝ විට එය සෘජුව වදන් නොකියා පද පෙරැළි ඇතිව පැවසීම තුළින් හාස්‍ය දනවන්නක් වෙයි. වැරදි වචන නිවැරදි කරමින් ගුරුන්නාන්සේ සංවාදය ඉදිරියට කරගෙන යයි. යක්ෂයාගේ කුරිරු නපුරු අදහස්ද මේ සංවාදයේ ගැබ්ව තිබේ. ඇතැම් විට ජුගුප්සා ජනක හැඟීම් ද මතු කරයි. මේ සංවාදයන් සන්නි දහ අටේදීම මූලික වශයෙන් එකම ආකාරයක් ගනී.
අවසානයේ ආතුරයාටද සෙත් පතා යකා නික්ම යයි.