හත්වන පිටුව
 

දුදනන් දැකලා මඟ හැරපන්නේ
සුදනන් දැකලා මඟ නාරින්නේ
උතුමන් දැකලා දුන් බස ගන්නේ
ඊහළින් පැනලා බස්‌ නොකියන්නේ

දුදනන් දුටුවිට මග හරින්න. සුදනන් දුටුවිට ඇසුරු කරන්න. උතුමන් හමුවී අවවාද පිළිගන්න.

උතුමන් ඉදිරියෙ කෙළ නොගසන්නේ
ඉඳිමින් එහි පා දිගු නොකරන්නේ
එලෙසින් ඉඳ ඈනුම් නාරින්නේ
සියතින් එලෙසම හිස නොකසන්නේ

ගරු කළ යුතු අය ඉදිරියේ කෙළ නො ගසන්න. ඔවුන් ඉදිරියේ සිට දෙපා දිගු නො කරන්න. ඈනුමි නො අරින්න. හිස නො කසන්න.

ගතු ඇසු පමණින් බාර නොගන්නේ
සිතු ලෙස සොයමින් අදහා ගන්නේ
ගතු බොරු කියමින් ලොව නොනසන්නේ
සිතු දොස තරමින් තම නොනැසෙනනේ

ගතු (කේලාම්) ඇසූ පමණින් බාර නොගන්න. එය නිදහසේ සොයා බලා පිළිගන්න. බොරු ගතු කියමින් ලොව විනාශ නො කරන්න. හිතු හිතූ වැරදි කරමින් තමා ම විනාශ නො වන්න.

බයෙන් තැවුල් අය ළඟ නොනිදන්නේ
දිරූ ගෙවල් ගස්‌ ලඟ නොසිටින්නේ
පාලු ගෙවල් ළින් ළඟ නොසිටින්නේ
දෙමැද දවල් තනියම නොමයන්නේ

බියෙන් තැවෙන අය ළඟ නිදා නො ගන්න. දිරූ ගෙවල් දිරූ ගස්‌ ළඟ නො සිටින්න. පාලු ගෙවල්වල හා ළිං ළඟ නොසිටින්න. ඉරමුදුන් නේවලාවේ තනියෙන් පාරෙ ගමන් නොකරන්න.

මල මූ ඇති තැන අවරණ වන්නේ
තැන තැන සිටගෙන නුසුදුසු වන්නේ
මග වෙත ඉඳ ගෙන නොහොබී සිතන්නේ
කී විදි දැන ගෙන පිළිපැදපන්නේ

මල මුත්‍ර කිරීමට ඇති විට ආවරණ ස්‌ථානයකට යන්න. සිටගෙන තැන තැන මල මුත්‍ර නොකරන්න. පාරේ ඉඳ මල මුත්‍ර කිරීම නොහොබී යැයි සළකන්න.

කෑමක්‌ යමෙකුට සතුටින් දෙන්නේ
පෙනුමක්‌ ලෙස නිසි බදුනක දෙන්නේ
කෑමක්‌ කන තැන කෙළ නො ගසන්නේ
තරහක්‌ වී එහි කෑ නො ගසන්නේ

යමෙකුට අහර දෙනවිට සතුටින් දෙන්න. ඊට සුදුසු බදුනක්‌ ඇති ව දෙන්න. අහර ගන්නා තැන කෙළ නො ගසන්න. කෝපයෙන් කෑ නො ගසන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017