පස්වන පිටුව
 

තම ගති නුහුරට පමුණගත් විට
එළඹෙති විගසට හැම දොස සත හට
හොඳ ගති නරකට හැඟීයයි ඔවුනට
හිත ඇති අයහට නුරුසත් එම විට

තමන්ගේ ක්‍රියාකලාපය වැරදි අයුරින් සකසාගත් විට සත්ත්වයාට හැම ගැහැටක්‌ ම දෝෂයක්‌ ම) වහා සිදු වේ. එවිට හොඳ ගති නරක යැයි ඔවුනට හැඟේ. එවිට හේ)හිත වැඩ සලසන අයත් නුරුස්‌සයි.

අනුන්ගෙ යසසට මසුරු කෙරේනම්
තමන්ගෙ යසසට මයි අනතුරු නම්
තමන්ගෙ පණකොට ලොව සලකා නම්
ඔවුන්ගේ දෙවිකොට පෙනෙයි තමා නම්

අනුන්ගේ ප්‍රසිද්ධියට (සම්පත්තියට හෝ කීර්තියට) අකමැති නම් ඉන් හානි වන්නේ තමන්ගේ ප්‍රසිද්ධියට ම ය (සම්පත්තියට හෝ කීර්තියට ම ය)ලෝකයා තමන්ගේ ම ජීවිතයට මෙන් සලකනනේ නම් ලෝකයා තමා ඔවුනගේ දෙවියන් සේ සලකයි.

කළ ගුණ සලකන අය දෙවියන් වැනි
කළ ගුණ නොතකන අය රකුසන් වැනි
මෙම බණ දැන ගෙන සියපණ විලසිනි
කළ ගුණ අය දැන සලකනු බැතියෙනි

කළගුණ සලකන අය දෙවියන් වැනි ය. කළගුණ නො සලකන අය රකුසන් වැනි ය. උපදේශය තේරුම් ගෙන තමන්ට යහපත කළ අයට තම පණ වගේ ආදරයෙන් සලකන්න.

මුහුණ ද අත පය සෝදා ගන්නේ
ඔලුව ද තෙල් ගා පීරා ගන්නේ
කිළිටු ද වැරහැරලි ඇඳ නොම ගන්නේ
හැමසඳ පිරිසිදු ලෙස සිට පන්නේ

මුහුණ අතපය සෝදා ගන්න. තෙල් ගා හිස පිරා ගන්න. කිළිටි වැරහැලි ඉවත ලන්න. හැමවිට ම පිරිසිදු ව සිටින්න.

දොරකඩ ඉඳගෙන කතා නොවන්නේ
එළිපිට සිටගෙන රෙදි නාඳින්නේ
ගෙන්පිට සිටගෙන හිස පීරන්නේ
අවරණ ඇති තැන නිදා ගනින්නේ

දොරකඩ අහුරා සිටිමින් කථා නො කරන්න. එළිමහනේ සිට ඇදුම් නො අඳින්න. ගෙයින් පිට සිට හිස පීරන්න. කළ යුත්තේ ගෙතුළෙන් බැහැර ව ය. ආවරණ සහිත තැනක නිදා ගන්න.

ඉණ රෙදි අඳිමින් පාරෙ නොයනනේ
රෙදි හ නගමින් පා නොතබන්නේ
තමරුව බලමින් උඩගු නොවන්නේ
හැඩ නිල බලමින් ගමන් නොයන්නේ

ඉණට ඇදුම් අදිමින් මාර්ගයේ ගමන් නො කරන්න. ඇගේ හඩ නැගෙන ලෙස පා නො තබන්න. තමන්ගේ රූපය බල බලා උඩගු නො වන්න. ගමන් බිමන් යනෙන විට හැඩ වැඩ බලමින් නො යන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017