පරයා එම විට ගොසින් බලන්නේ
ගුරුවා මැරුණා කියා බලන්නේ
බොරු මායම් කර නාඩි බලන්නේ
සරණෙට සොකරිට කතා කරන්නේ
දෙන්නම අපි යමු ගුරුවා හැරලා
නුඹට මෙමම දෙමි සරි කරලා
මේ රටේ ම අපි ඉඳිමු කියාලා
එම විට සොකරි පරයට බැනලා
කොහොම කීද පරයා තෝ බොල
බොහොම වරාගන් ඇති ගුරුවෙක් බොල
එහෙම නොකිය මට නින්දාවකි බොල
තවත් නසින්ට නැත ගුරුවා බොල
ගුරුවා මේ ලෙස සොකරිට පන්නේ
ගුරුවා මැරුණා කියා හඬන්නේ
ගුරුවා මැරුණා නොවෙයි කියන්නේ
අපි දෙන්නා යමු යන්ට කියන්නේ
සොකරි එම විට කඳුළු සලන්නේ
ගුරුවා දමලා කොහොම ද යන්නේ
පරයා ඉඳගෙන විහිලු කරන්නේ
අපි දෙන්නා යමු යන්ට කියන්නේ
වෙදා සොකරිගේ අතින් අදින්නේ
වරෙන් යන්ට කියමින් මොර දෙන්නේ
සොකරි යන්නට බැරිය කියන්නේ
බොරුවට පරයා නාඩි බලන්නේ
වෙදා වයිස්සියාව කරන්නේ
සොකරි එම විට දුවගෙන යන්නේ
ගුරුවා දමලා සොකරි යන්නේ
වෙදාත් සොකරිත් යන්ට ගියානේ
-ගියාට පසු ගුරුවට ලෙඩ සුවයි. දැන් ගුරුවා සොකරි සොයයි. කෝවිල්වල කපුවෝ සොයා යයි.-
කින්ද ලදේ නුඹෙ වරලස මිදුණේ
කාරණ කොයි හැටි කින්ද කියන්
අතක් දිගට මම සැපනිදියන කල
වරලස මිදුනයි සිමිය බොලන්
කාරණ කොයි හැටි කින්ද කියන්
ගෙට උඩු වත්තේ දලු බුලත් කාලා
දත් පොඩි පෙව්නා සිමිය බොලන්
කාරණ කොයි හැටි කින්ද කියන්
ගෙට උඩු වත්තේ දර බිඳිනා කල
සේලය ඉරුණිය සිමිය බොලන්
කාරණ කොයි හැටි කින්ද කියන්
ගෙයි මුල්ලේ සිට බළලකු පැනලා
ළමැද සීරුනේ සිමිය බොලන්
කාරණ කොයි හැටි කින්ද කියන්
ගෙට උඩු වත්තේ හෙරලිය කාලා
බඩ ටික පිරුණයි සිමිය බොලන්