බලි සහ දෙහි කැපුම
 

හිසත් කළුව නෙතත් රතුව සිව්රක් ඇඳ ගත්තේ
පාත්තරා දෙකක් රැගෙන වඩිමින් මගෙ ලිතේ
මයියන්ගනේ අටමස්තානෙ මුණිගුණ හිතට ගන්ට
දෙයියන් බුදුන් අණ සිහිකර පය අටමගලේ තබන්ට


මී මින්නෙක් අගුව වටින් ගෙනායා
ඒකා ගෙනත් ගෙයි මුල්ලේ තබායා
ඒ කා ගෙනත් රහසින් ගොස් තබායා
මීමිනි කකුල බලි පාමුල තබායා


සගිස්කාර අර්ථ බොහොම අටලොස් වර්ගය නිමකල
එවිස්තාර තර දෙවියෝ ස්තුති පූජාවක් කළ
විනිස්තාර කරන නෑර දහමින් රන්කොත සුනිමල
නමස්කාර සස්නෙට මුල කියමුව අපි ජය මංගල


යකා පෝරිසාද එකල පුදමින් රජ කුල
දැකා එ සුතසෝම නිරිඳු බෝසත් මරණින් මිදු කල
නෙකා මේ අප බෝසත් මාර සෙනඟ පැරදු කල
අකාලිකෝ අනුහසයෙන් වේවා ඔබට ජය මංගල



සම්මා සම්බුදුරජ වී විරාජිතව වැඩ හුන් කල
පෙම්මා ගුණ ඇති මහබඹු දහමට ආදර කර කල
බොම්මා රස කිරි විලසට දහම් අමා මියුරු විපුල
සම්මා සම්බුද්ද බෙලෙන් මේවා ඔබට ජයමංගල

දෙහි කැපීම

 

ආයුබෝ වේවා
කලසෙත මුදුන් වේවා
දෝස දුරු වේවා
සක්‍ර මහබඹු ආයු බෝවා


පළමු කපට කකුසඳ නම් මුනි බුදු වන්නේ
එවැනි කපේ දී වසවතු යුද පරදින්නේ
වෙසමුනි මන්ත්‍රා බලයෙන් යකු ඉගිලෙන්නේ
පලමු අඩියෙ දෙහි කැපුමට අවසර දෙන්නේ

 

දෙවැනි කපට කාක්ෂප නම් මුනි බුදු වන්නේ
එවැනි කපේ දී වසවතු යුද පරදින්නේ
වෙසමුනි මන්ත්‍රා බලයෙන් යකු ඉඟිලෙන්නේ
දෙවැනි අඩියෙ දෙහි කැපුමට අවසර දුන්නේ


ඕං ඕං කැර වින උපුටන් පෝග පෝග ඒස්වා හඃ


තුන් වෙනි කපට කෝනාගම මුනි බුදු වන්නේ
එවැනි කපේ දී වසවතු යුද පරදින්නේ
වෙසමුනි මන්ත්‍රා බලයෙන් යකු ඉඟිලෙන්නේ
තුන් වෙනි අඩියෙ දෙහි කැපුමට වරද නොගන්නේ

-මන්ත්‍රය-


ඕන් භ්‍රීන් වින කළ ඇඳුරා පසුපස එලෙන්ද්‍රි පලයන් පෝග පෝග ඒස්වහඃ


සිව්වෙනි කපට ගෞතම නම් මුනි බුදු වන්නේ
එවැනි කපේ දී වසවතු යුද පරදින්නේ
වෙසමුනි මන්ත්‍රා බලයෙන් යකු ඉඟිලෙන්නේ
තුන් වෙනි අඩියෙ දෙහි කැපුමට දොලහම දෙවිදුන්නේ


-මන්ත්‍රය-


ඕන් හර හර ගිඩි ගිඩි යක්ෂයා යක්සනී මෙතන බිල්ල හැර පලයන් පෝග පෝග ඒස්වහඃ

(c) Shilpa Sayura Foundation 2006-2017