හරි දෙය වැරදි ලෙස
වැරදි දෙය හරි දෙය ලෙස
පිළිගැනුම හද දොස
එයින් විපතක් වේය අපහස
හරි දෙය වැරදි ලෙසත් වැරදි දෙය හරි ලෙසත් පිළිගැනීම බලවත් වරදකි. එයින් නින්දා සහගත විපතක් වේ.
කළ වරද යට කර
බොරු බස් කියන මැරවර
එක වරද දෙක කර
මහත් හිරිහැර ලබයි වැඩිපුර
කළ වරද යටකර බොරු කියන මැරවරයා එක වරද දෙකක් කර එයින් මහත් හිරිහැර ලබයි.
වරද නොම දන්නා
කීවිට පිළි නො ගන්නා
අපා ගති වන්නා
අසයි ගුණ දොස් සුගති වන්නා
වරද තමනුත් නො දන්නා වූ ද අනුන් කීවත් නොපිළිගන්නා තැනැත්තා අපාගත වේ. යහපත් තැනකට (සුගතියට) පත් වන්නා ගුණ දොස් පිළිගනියි.
කිසිවක් පටන් ගෙන
එහි හරි වැරදි ඇසුමෙන
පලක් නැති බව දැන
අසනු මුලදිම හිතැති අයගෙන
යමක් ආරමිභ කොට එහි හොඳ නරක ඇසීමෙන් වැඩක් නැත. එබැවින් මුලදී ම හිතවත් අයගෙන් අසා දැනගන්න.
තම අත තම හිසට
අන් අත නොවෙයි හැම විට
නිතින් එය සිහි කොට
කරනු වීරිය හොඳින් හැදුමට
තමන් හිසට තමන් අත ම ය. අන් අයගෙන් කිසි විට පිහිටක් නැත. ඒ බැව් හැමවිට ම සිහි කොට හොඳින් හැදීමට උත්සාහ කරන්න.තම දොස මහමෙර මොන් ගොඩ වුවත්
අන් දොස අබ ඇට මෙන් සුළු වූවත්
තම දොස නොපෙනී අන් දොස පවසත්
එම දොස මහ විපතින් ඔහු වැනසෙත්
තමන්ගේ වරද මහමෙර තරමි විශාල වුවත් නො පෙනේ. අනුන්ගෙ වරද අබඇටක් තරමි සුළු වුවත් පෙනේ. ඔවුහු තම දොස නො දැක අනුන්ගේ දොස ප්‍රකාශ කරයි. එම වරද මහා විපතක් වී ඔවුහු වැනසෙත්.
