තුන්වන පිටුව
 

ගුරුන් ගුණ මහතය
දෙගුරුන් ගුණ ද මහතය
මෙකී ගුණමහතය
සැලකු අයහට මහත් සැපතය

ගුරුවරුන්ගේ ගුණය උසස්‌ ය. දෙගුරුන්ගේ ගුණය ද උසස්‌ ය. මෙකී උසස්‌ ගුණ අගයන අයට මහත් සැපතක්‌ ලැබේ.

හොඳින් හැදූදරුවන්
මව්පියො වාසනාවන්
තම මව්පිය රුවන්
පිදූ දරුවොද වාසනාවන්

හොඳින් දූදරුවන් හැදූ මව්පියෝ වාසනාවන්තයෝ වෙති. තමන්ගේ මව්පියන් නමැති රත්නයන් පිදූ දරුවෝ ද වාසනාවන්තයෝ වෙති.

ගෙදාර සැම කටයුතු
හොඳින් සලකා කළයුතු
කීවට නො කළයුතු
කරුණු සතුටින් බලා කටයුතු

ගෙදරදොර සෑම කටයුත්තක්‌ හොඳින් සොයා බලා කළ යුතු ය. කී පලියට නො කළ යුතු ය. අවශ්‍ය දෑ සලකා බලා සතුටින් කිරීම වැදගත් ය.

නිසි පිළිවෙල රැගෙන
සියුම් පිරිසිදුකමගෙන
ඇද නැති ගතියගෙන
සියලු වැඩපල කරන් සතුටින

නියමිත පිළිවෙළට සියුම් ලෙසත් පිරිසිදු ලෙසත් අවංක වත් සතුටිනුත් සියලු වැඩපළ කරන්න.

ගතහැකි දෙයවැඩට
අහක නොදමනුකිසිවිට
වැඩ නැති දෙයනුඹට
දෙනුව ඉන් වැඩ ගන්න අයහට

ප්‍රයෝජනයට ගත හැකි කිසිවක්‌ කිසි විට ඉවත නො දමන්න. තමාට ප්‍රයෝජන නොවන දෙයක්‌ (ඉවත නොදා) එය ප්‍රයෝජනයට ගන්නා අයකුට දිය යුතු ය.

සුළු වරද කෙරුමෙන
මහත් වැරදිත් වෙයිදැන
සුළු වරද සුළුමෙන
සිතා නො ගනින් මතු බලා ගෙන

සුළු වරදක්‌ කිරීමෙන් මහත් වැරදි සිදු වේ. එය දැන අනාගතය ගැන සලකා සුළු වරද සුළුවෙන් නො සලකන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017