නමින් පටබැන්දත්
රනින් රුවනින් දිලුනත්
කුලෙන් රජ වූ වත්
එයින් පල කිම සිරිත් හැරියොත්
පටබැඳි නම් ලැබුණත්, රන් රුවන් ආභරණවලින් බැබළුණත්, කුලයෙන් රජෙකු වුව සිරිත් අත්හැරියොත් එයින් පල කුමක් ද?
කුලේ ඇති මහතය
කැලේ යන බව නියතය
බලේ හොඳ සිරිතය
දිලේ සඳ ලෙස දොලොව සැපතය
කුලයේ තිබෙන වැදගත් කම නැතිවී යයි. හොඳ සිරිතේ බලය දොලොව සැපදෙමින් සඳමෙන් බබළයි.
උසස් කුල උපතත්
දහස් ගම් බිම් තිබුණත්
පිරිස් බලසිටියත්
උසස් නැත සිප් සතර නැතහොත්
උසස් කුලයක උපත ලැබුවත්, දහස් ගණන් ගම් බිම් ඇතත්, කොතෙක් පිරිස් බල තිබුණත්, ශිල්ප ශාස්‌ත්‍ර නූගත්තේ නම් ඔහුගේ උසස් කමක් නැත.
පහත් කුල උපතත්
නැතත් රූසිරුපෙනුමත්
උගත් සිප්ඇතහොත්
පුදත් රජවරු පවා සැක නැත්
පහත් කුලයක උපත ලැබුවත්, රූපශ්‍රීය පෙනුම නැතත්, උගත් ශිල්ප ශාස්‌ත්‍ර ඇත්තේ නම් ඔහුට රජවරු පවා පුදසත්කාර කරති. එය නිසැක ය.පිරෙන තෙක් විසි වස
ඉගෙණ ගැනුමෙහි සිටි යස
පිරුණ කල තිස් වස
තරුණ පෙළ බැබළේය ගරු ලෙස
විසි වැනි අවුරුද්ද පිරෙන තෙක් ඉගෙන ගැනීමෙ යෙදී සිටීම හොඳයි. වයස තිහ පිරෙන විට උසස් ලෙස තරුණ පිරිස බැබළේ.
ගුරු වදන මහිමය
ගරු කර ගැනුම යුතුමය
සරු බවට මගමය
බොරු නොවෙයි පෙර පඬිහු බසමය
ගුරුවරයාගේ වචනයේ තිබෙන බලය ගරු ලෙස සැලකීම උතුම් ය. එය දියුණුවීමට මඟ ය. මෙය බොරුවක් නො වේ යනු පෙර පඬිවරුන් ගේ කියුමකි.
