සැමට සෙත් වඩවන
සිරිත් මල්දම බලමින
සිරිත් හොඳ දැනගෙන
මහත් යසසිරි ලබනු දෙලොවින
සැමට සෙත සළසන සිරිත් මල්දම බලා හොඳ සිරිත් දැනගෙන මෙලොව පරලොව දෙකේ මහත් කීර්තිය හා සම්පත් ලබාගන්න.
වැඩක නොයෙදු සිත
නරන අතට ම පෙරලෙත
කිමෙක වන යහපත
වැඩෙක එබැවින් යොදනු තම සිත
සිත යම් වැඩක නො යෙදූ විට එය නරක අතට ම යොමුවේ. එයින් වන යහපත කුමක් ද? එනිසා තමන්ගේ සිත වැඩක යොදවන්න.
කටයුතු කිරීමය
නො කටයුතු නො කිරීමය
අණ පිළිපැදීමය
මෙතුන් ගුණ දියුණුවේ මඟමය
කළයුත්ත කිරීමත් නො කළ යුත්ත නො කිරීමත් නියමයන් පිළිපැදීමත් යන මේ තුන් ගුණය දියුණුවේ මගයි.
මෝරන වී කරල
නැමෙයි රස වැඩිවෙනකල
නුවන මෝරන කල
එමෙන් දරුපෙළ නැමෙයි මනකල
වී කරල මෝරමින් රස වැඩිවන විට නමා වැටේ. එමෙන් නුවණ මෝරා වැඩෙන හොඳ දරු කැළ ද හික්‌මෙත්.බඩු පිරෙනතරමට
ගිලෙයි නැව සමුදුරපිට
ඉසුරු වැඩි වෙනුවිට
උඩඟු නැති අය පවති එලෙසට
භාණ්‌ඩ පිරුණු තරමට නැව මුහුදු දිය තුලට පත්වේ. එලෙස උඩඟු කමින් තොර අය සම්පත් වැඩිය ලැබෙන විට නිරහංකාර වෙත්.
කසල ගොඩ තිබුණත්
මැණික් අනගිය සිරිමත්
එමෙන් සුදුදනපුත්
උතුම් වෙයි හොඳ සිරිත් දැරුවොත්
කසල ගොඩෙහි තිබුණත් මැණික අගනේ ය. එමෙන් සාමාන්‍ය කෙනෙකුගේ පුතෙකු වුවත් හොඳ සිරිත් පුරුදු කලොත් උතුම් වේ.
