අප්පුවරු කෝලම
 

අප්පුවරු කෝලම

මේ රජුගේ සන්නසක් රැගෙන එන නිලධරයෝ දෙදෙනෙකි. රජු පැමිණීමට නියමිත උත්සව භූමියේ සියලු කළමනා කටයුතු නිසි පරිදි සිදු වී ඇත්දැයි මොවුහු විමසා බලති. මේ කෝලම් අංකය මිරිස්ස උඩුපිල කෝලම් රංගනයක දී පමණක් දැකගත හැකිවීම විශේෂයකි.

අප්පුවරු කෝලම සඳහා බෙර පද

සභාවට එන පදය :
ගුඳ ගති ගත - ගුඳ ගති ගත///

නටන පද :
ගදිත ගතකු - දොංත ගතකු///

යන පදය :
දොං ගුඳිතක දැහිංත ගතකු///

මුදලි කෝලම

මුදලි වනාහි වැඩවසම් සමාජයේ සිටි ඉහළ නිලධාරියෙකි. මොහු ගමන් බිමන් යන්නේ ස්වකීය අතවැසියා වූ හෙංචා හෙවත් හෙංචප්පු සමඟ ය. හෙංචප්පු මුදලිට පසුපසින් පැමිණෙමින් මුදලිගේ හිසට ඉහළින් තල් අත්තක් අල්ලයි. හෙංචා නිතර මුදලි කෙරේ පක්ෂපාතිත්වය දක්වන්නේ භයට මිස ස්වාමි භක්තියකින් නොවන බව මෙහි දී නිරූපණය වෙයි. හාස්‍ය රසය දැනවීම සඳහා හෙංචා බොහෝවිට මුදලිගේ හිසට තල් අත්ත අල්ලන අතරේ තමාගේ හිසටත් මුදලිට නොදැනෙන ලෙස අල්ලා ගනී. මුදලි නිරන්තරයෙන් සාඩම්බර ලීලාව ප්‍රදර්ශනය වන පරිදි ගාම්භීර පෙනුමැති වස්ත්‍රාභරණවලින් හා කඩු කස්තානවලින් සැරසී සිටින අතර ගම්මුන්ගේ ගෞරවයට පාත්‍රවන්නෙකි. තම යටත් නිලධාරින්ගේ රාජකාරි කටයුතු නිසි ලෙස ඉටු වී ඇත්දැයි විමසා බලමින් ඒවායේ අඩුපාඩු ඇතිවිට ඒවා වුවමනා ලෙස සම්පූර්ණ කිරීමට අවශ්‍ය කටයුතු සලසාලීම මොහු අතින් සිදුවේ. මුදලි කෝලම ගැන විස්තර කැලවේ පිටපතෙහි නොමැත.

මුදලි කෝලම සඳහා බෙර පද

එන පද :
1. ර්ර්රිං ගත දැහිං - ගතාං ගුඳ ගුං
2. රිංගත දැහිංත ගත ගුඳි ගුඳ ගදි ගත දැහිංත දෙගත ගත ගුං
3. ගුඳ ගුඳ ගුඳ ගත දැහිං ගතාං ගුඳ ගුං

යන පදය :
ර්ර්රිං ගත දැහිං - ගතාං ගුඳ ගුං

(c) Shilpa Sayura Foundation 2006-2017