සමාජ හිමිකම් හා සාධාරණ වෙළඳාම
 

මෙය කාබනික ගොවියාගේ අවධානය යොමු කල යුතු විශේෂිත වූ කාරණයකි. කාබනික ගොවියාගේ එකම අභිප‍්‍රාය ලාබ ලැබීම සහ ඉහල අස්වැන්නක් ලැබීම නොවන බව පෙරදී සඳහන් කොට ඇත. ලෝක කම්කරු සංවිධානයේ සම්මුතින්ට සහ රෙගුලාසි වලට දැඩි අවධානය යොමු කරමින් වැඩ කටයුතු කිරීම කාබනික ගොවියාගේ යුතුකම හා වගකීම වනු ඇත. තම ගොවිපලෙහි කටයුතු වල නිරත සියල්ලන්ට පිරිසිදු ජලය, ආහාර, නිසි නිවහන්, අධ්‍යාපනය, ප‍්‍රවාහණ පහසුකම් හා සෞඛ්‍ය පහසුකම් සැපයෙන ලෙස සංවිධාන ගත විය යුතුය. සමාජ ආරක්‍ෂණයද ඔවුනට ලබා දීම වගකීමකි. ඒ අනුව ප‍්‍රසූත නිවාඩු ලබාදීම, රෝග වූ විට පහසුකම් ලබාදීම හා විශ‍්‍රාම වැටුප් පාරිතෝෂික ලබා දීම අත්‍යාවශ්‍යය.

 

සෑම සේවකයෙකුම හෝ සේවිකාවක්ම අගය කිරීමට පාත‍්‍ර විය යුත්තේ ඉටු කරන කාර්යය මත මිස වෙනත් කරුණු කාරණා මත නොවේ. සහතික කිරීමේ නිලධාරීන් මේ සියළු දේ ගැන අවධානය යොමු කරන බව අමතක නොකල යුතුය. වැඩ කරන්නන්ගේ නන් වැදෑරුම් සුභ සාධනය අමතක කිරීම කාබනික ගොවියා කෙසේවත් නොකල යුතුය. සාධාරණත්වයට සම්බන්ධව නිපැයුම් වල මිල නියම කිරීම පාරදෘෂ්‍ය බවින් අගතැන් පත් විය යුතුය. තම ගොවිපලෙහි කාර්යයේ නියුතු අයට මෙවන් දේ සැඟවිය යුතු නැත. කාබනික ගොවිතැනෙහිදී කාන්තාවන්ට විශේෂ අවධානයක් යොමු කරන ලෙස ඉල්ලා ඇත. ඔවුනට දේපල අයිතිය, සමාන වැටුප්, සාධාරණ වැඩ පැවරුම්, සමාන අධ්‍යාපන හා පුහුණු කිරීම්, තීරණ ගැනීමේදී වගකීම් පැවරීම, ලිංගික අතවරයන්ට භාජනය වීමට ඉඩ නොහැරීම ආදී දේ සාධාරණව භුක්ති විඳීමට පරිසරයක් ඇති කල යුතුය. වසර 15ට අඩු දරුවන්ගේ අයිතිවාසිකම් ගැනද එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියන්ට අනුකූලව කටයුතු කල යුතුය.

(c) Shilpa Sayura Foundation 2006-2017