වල් මර්ධනය
 

වල් පැලෑටි මර්ධනය ගැන විශේෂිත වූ විස්තරයක් 12 පරිච්ෙඡ්දයෙහි දක්වා ඇත. එසේ වුවත් කාබනික ගොවි තැනෙහිදී වල් මර්ධනය කල යුතු වන්නේ වෙනස් ආකාරයකට වල් පැලෑටි දෙස අවධානය යොමු කරමිනි. සමහර අවස්ථාවල වල් පැල වර්ග පාංශු සරු බව ගැන ඉඟි සපයයි. යම් ආකාරයක භෝගය සමග තරඟකාරිත්වයක් පෙන්වන්නේ නම් පමණක් එම වල් පැල මර්ධනය කිරීම වටී. තව දුරටත් වල් පැලෑටි වලින් යහපත් දේ පහත අයුරු සිදු වන්නට පුළුවන.


1. සමහර පැල වාසිදායක ආගන්තුක සතුන්ට සෙවන දෙයි
2. සමහර පැල සත්ත්ව හෝ මිනිස් ආහාර වන්නට පුළුවන
3. සමහර පැල බෙහෙත් වර්ගය
4. සමහර පැල පාංශු අතුරණු ලෙස භාවිතයට ගන්නට පුළුවන
5. සමහර පැල ගහණ පාංශු ඛාදනය වලක්වනු ලබයි

කෙසේ හෝ වේවා තිබෙන ස්ථානය අනුව පමණක් වල් පැලෑටි භෝගයට හානි දායක වන්නට පුළුවන. එවිට පමණක් වල් පැලෑටි මර්ධනය කිරීම කාබනික ගොවි තැනෙහිදීද සිදු කරනු ලබයි. එනිසා වල් මර්ධනයට වඩා කාබනික ගොවිපලක ප‍්‍රථමයෙන් උත්සාහ කල යුත්තේ වල් පැලෑටි වලට වැවෙන්නට ඉඩ ප‍්‍රස්ථා නැති කිරීමයි. එහිදී වැඩිය හැකි ස්ථානය හා වැඩිය හැකි කාලය ගැන අවධානය යොමු කල යුතුය. බොහෝ විට බෝග පාත්තියක මූලික අවධිය සංවේදී නිසා එවිට වල් පැල මතු නොවීමට පරිසරය සකස් කර ගත යුතුය. සමහර වල් පැලෑටි අස්වැන්න නෙලීමේදී ප‍්‍රශ්නකාරී වනු ද ඇත.

කාබනික ගොවිපල වල වල් මර්ධනය සඳහා කෘෂි රසායනයන් කොහෙත්ම යොදා නොගනු ලැබෙයි. ඒ සඳහා භාවිත කරන ක‍්‍රම නම්
1. ආස්තරණය කිරීම
2. ජීවී ආස්තරණ ඇති කිරීම
3. භෝග මාරුව ඉවහල් කර ගැනීම
4. තුලිත පොහොර භාවිතය
5. අවම බිම් සැකසීම් ක‍්‍රම යොදා ගැනීම
6. ඇට සැදීමට පෙර අතින් ඉවත් කිරීම
7. වල් ඇට රහිත බීජ භාවිතය
8. වල් පැල අතින් හෝ සරල උපකරණ මගින් ඉවත් කිරීම
9. හොඳින් මේරූ කොම්පෝස්ට් භාවිතය

(c) Shilpa Sayura Foundation 2006-2017