පසක සරු බව පිලිබඳ පොදු අදහස් සහ විද්‍යානුකූල අවබෝධයන් 13.1. කොටසෙහි දක්වා ඇත. එහෙයින් මෙහිදී උත්සහ කරනුයේ කාබනික ගොවිතැන් කරුවෙකු විසින් එය හසුරවා ගන්නට කලයුතු සහ අනුගමනය කල යුතු කාර්යයන් සැකෙවින් හඳුන්වා දීමය. කාබනික ගොවිතැනෙහි මධ්‍යගතම අභිප‍්‍රාය සරුබව වර්ධනය කරගෙන, ස්ථායිතාවය පවත්වාගෙන යමින් වගා පද්ධතියේ තිරසාර බව රැක ගැනීමයි. පසක සරු බව නොයෙක් සාධක මත යැපෙන බව ඔබ දැනටමත් දනී. එනිසා හොඳ සරු බවකට අවශ්‍ය කාරණා උත්තේජනය වන අයුරින් කෙරෙන කටයුතු වඩාත් සුදුසු වන බව නිරායාසයෙන් පැහාදිලි වනු ඇත. මේවා ඇත්ත වශයෙන්ම සෑහෙන දුරකට වගා කරුවාට කලමනාකරණය කර ගන්නට පුළුවන.
කෙසේ හෝ වේවා සරු බව කලමනාකරණයේදී විවිධ වර්ගයේ පැලෑටි වලට වෙනස් අවශ්‍යතා ඇති බව වටහා ගැනීම වටී. මින් අදහස් වනුයේ පසෙහි ගතිගුණ අනුව බෝගය තෝරා ගැනීම සුදුසු බවයි. මේ ගැන විස්තර 13 කොටසේ අන්තර්ගත කොට ඇත. එසේ නම් කාබනික ගොවිතැනෙහිදී වගා කරුවා පහත සඳහන් දෑ ගැන අවධානයෙන් යුතුව වැඩ කටයුතු කිරීමෙන් පසේ සරු බව වැඩි කර ගන්නටත් පවත්වාගන්නටත් සමත් වනු ඇත.
1. පස තද බල හිරු එලියට සහ තදබල වර්ෂාපතනයන්ටද නිරාවරණය වන්නට නොහැරීම. මෙය සුදුසු ලෙස භෝගයන් මගින්ද, කොල රොඩු, අමු කොල ආස්තරයක් මගින්ද, ආස්තරණ පැලෑටි වර්ග වැවෙන්නට හැරීමෙන්ද ලඟා කර ගන්නට පුළුවන. පස මෙසේ ආවරණය වී තිබීමෙන් නිරායාසයෙන්ම පාංශු ඛාදනය සිදු නොවන අතර මනා ජල සංරක්‍ෂණයක්ද සිදු වෙයි.
2. තුලිත වූ භෝග මාරු ක‍්‍රම හා මිශ‍්‍ර භෝග වගාව සිදු කිරීම. මෙය තුලින් කන්නයෙන් කන්නයට හා කන්නයක් තුල සිදුවිය හැකි අසමතුලිත තාවයන් අවම කර ගැනීමෙන් පාංශු සරු බවෙහි තිරසාර බවති රැක ගන්නට පුළුවන. මේ සඳහා උපයෝගී කර ගත යුතු වන්නාවූ ක‍්‍රම සහ විධි 17 වන පරිච්ඡේදයේ දක්වා ඇත.
3. පස තද වීම හා පාංශු ඛාදනයට මග නොපෑදෙන අයුරින් බිම් සැකසීම් ක‍්‍රම තෝරා ගැනීම. මෙහිදී අවම බිම් සැකසුම් තාක්‍ෂණයක් යොදා ගැනීම කල යුතුමය.
4. මනා පෝෂක සැපයීමක් හා සංචිතයන් ඇතිවන ලෙෂ පිලිවෙලින් තත්ත්ව ඇති කිරීම සහ පොහොර සැපයීම. පෝෂක සැපයිම තුලිත විය යුතු අතර තත්ත්ව ඇති කිරීම දිගු කාලින පෝෂක සුලභතාවය ලඟා කර ගැනීමට ඉවහල් විය යුතුය. පොහොර පිලිබඳ දිගු විස්තර 19 පරිච්ඡේදයේ කියවා දැන ගන්නට පුළුවන. එම කොටසේ ඇති කාබනික පොහොර වර්ග ගැන දැනුම මෙම කොටසටද මැනවින් අදාල වෙයි.
5. මනා ජල සැපයුමක් ඇතිවන පරිදි සහ මනා වාතාශ‍්‍රයක් ඇතිවන පරිදි පස බුරුල් කිරීම තුලින් හා ජලය යෙදීම හා අපවහනය මගින් පැලෑටි වර්ග වලට අවශ්‍ය තත්ත්වයන් පවත්වාගෙන යාම. ජල පාලන තාක්‍ෂණයන් වඩාත් හොඳින් 10 පරිච්ඡේදයේ විස්තර කරනු ලැබ ඇත.
පාංශු සරු බව කාබනික ද්‍රව්‍ය වලින් සිදුවන බව ප‍්‍රකාශ කල නමුත් එය එසේ සිදුවන්නේ කෙසේ දැයි අවබෝධ කර ගැනීම උචිතය. වඩාත්ම වැදගත් කරුණක් වන්නේ පසෙහි කාබනික ද්‍රව්‍ය වලට පසතුල කල හැකි දේ විවිධාකාර වීමයි. යූරියා පොහොර මගින් නයිට‍්‍රජන් පමණක් සපයනවා මෙන් නොවේ. එහෙයින් කාබනික ද්‍රව්‍ය වල පොහොර ගතියද අනෙක් පාංශු තත්ත්ව උසස් කරන ගතියද යන ගති දෙකම එකට ගැබ් වී ඇත.
පසකට කාබනික ද්‍රව්‍ය එකතු කල විට ඒවා දිරා පත්වී බොහෝ විට ව්‍යුහයන් හඳුනාගත නොහැකි තත්ත්ව බවට හැරෙයි. මේවා තද දුඹුරු හෝ කළු වන අතර මේ අතරින් කොටසක් සුදුසු තත්ත්ව යටතේ පසක සරු බවට ඉතාම වැදගත් වන්නාවූ හියුමස් නම් ද්‍රව්‍යද සෑදෙයි. පාංශු කාබනික ද්‍රව්‍යයන්ගේ මෙහෙය පහත අයුරින් ලැයිස්තු ගත කරන්නට පුළුවන.
1. ඉතා සුදුසු වන්නාවූ පාංශු ව්‍යූහයන් ඇති කරයි, වියෝජනයේදී ඇතිවන බොහෝ සංයෝග ඇදෙන නිසා සහ සිමෙන්ති මෙන් බන්ධන හැකියාව ඇති නිසා
2. එකතු කරන කුඩා වූ කාබනික ද්‍රව්‍යයන්ට තම බර ප‍්‍රමාණය මෙන් වාර ගණනක් ජලය උරා රඳවා ගන්නට පුළුවන. මෙවන් තත්ත්ව විශේෂයෙන්ම වැලි පස් වලට උචිතය
3. කාබනික ද්‍රව්‍ය පාංශු ජීවින්ට ආහාරයන්ය. කාබනික ද්‍රව්‍ය වැඩි තැන වැඩි ජීවී ගහණයකුත්, වැඩි ජීවී ප‍්‍රභේද ගණනකුත්, වැඩි ජීව ක‍්‍රියාවලියනුත් ඇති වෙයි. ගැඩවිල් ගහණය, ක්‍ෂුද්‍ර ජීවී ගහණය සහ උන්ගේ ක‍්‍රියාවලියන් කාබනික ද්‍රව්‍ය මගින් මනාව උත්තේජනය වෙයි
4. හියුමස් නම් කාබනික ද්‍රව්‍ය සංඝටකයට සැලකිය යුතු ප‍්‍රමාණ වලින් පෝෂක අයන රඳවා ගැනීමට පුළුවන, මුල් වලට ඒවා ලබා ගැනීමට වඩාත් අවස්ථා සපයා දෙමින්. මෙනිසාම ක්‍ෂරණය මගින් පසේ ගැඹුරු ස්ථර වලට පෝෂක සේදී යාම බොහෝ දුරට වැලකෙයි
5. කාබනික ද්‍රව්‍ය සුලභව තිබීම පසක විය හැකි pH අගයේ ඉක්මන් වෙනස් වීම් අවම කරයි. මෙවන් පසක් මොනයම් බාහිර කාරණාවක් නිසා ආම්ලික තත්ත්වයකට හෝ භාෂ්මික තත්ත්වයකට ලෙහෙසියෙන් පාත‍්‍ර නොවෙයි. මින් තිරසාර බවක් ඇති වන බව පෙනෙනවා ඇත
6. කාබනික ද්‍රව්‍ය සහ හියුමස් අධික පසකට නිතැතින්ම ඉහල කැටායන හුවමාරු ධාරිතාවක් (CEC) ඇත. කැටායන හුවමාරු ධාරිතාවය වැඩි වීම පැලෑටියකට ලබා ගැනීමට හැකිවන අයුරු වූ පෝෂක සංචිතයක් තබා ගැනීමටත්, ඒවා අවශ්‍ය විට මුල් වලට ලබා දීමටත් මනා පිටුවහලක් වෙයි
මේ ප‍්‍රධාන කාරණා මිස වාසි ලැයිස්තුවේ අවසානය නොවේ. ඔබද මදක් සිතන්න.