කාබනික ගොවිතැනට සංක‍්‍රාන්තිය
 

අද බොහෝ ඉඩකඩම් ගතානුගතික බෝග වගා ක‍්‍රමයන්ට යටත්ව ඇති නිසා සැම පසක්ම වාගේ යම් ප‍්‍රමාණයකට කාබනික ගොවිතැනට සුදුසු නොවන පරිදි දූෂණයව ඇතැයි පිලිගෙන තිබෙයි. එම නිසා අදින් හෙටට ඉඩමක නිපැයුම් කාබනික ලෙස පිලිගන්නට කිසිවෙක් සූදානම් නැත. පරණ ක‍්‍රමයේ ඉතිරි වූ අනවශ්‍ය දෑ කෙමෙන් කෙමෙන් අඩු වන නිසා කාබනික ගොවිතැනට සම්ප‍්‍රාප්ත වීමට යම් කලක් ගතවෙයි. මෙම කාලය සංක‍්‍රාන්ති කාලයක් ලෙස හඳුනා ගන්නට පුළුවන. කෙසේ හෝ වේවා තම ඉඩම මින් පෙර පරම්පරාගත ක‍්‍රම වලට භෝග වගාව සඳහා යොදාගෙන තිබුනේ නම් මෙවැනි සංක‍්‍රාන්ති කාලයක් අවශ්‍ය නොවේ. එසේත් නැත්නම් සංක‍්‍රාන්ති කාලය කෙටි කර ගන්නට පුළුවන. කාබනික ගොවිපලක් සඳහා ස්වාභාවික කැලයක් එලි පෙහෙලි කිරීම කෙසේවත් නොකල යුතුය. සංක‍්‍රාන්ති කාලය යන්නෙන් ඇත්ත වශයෙන්ම අදහස් කරනුයේ කාබනික ගොවිතැන පටන් ගත් තැන් සිට කාබනික ගොවිතැන් සහතික පත‍්‍රය ලබා ගන්නා දින දක්වා ඇති කාල පරාසයයි. මෙම සහතිකය අනුමත කල පිලිගත් ආයතනයකින් ලබාගත යුතු බව අවබෝධ කර ගත යුතුය.

ගොවිපලක කාබනික සංක‍්‍රාන්තිය සම්පූර්ණ ගොවිපලට හෝ කොටස් වශයෙන් කරන්නට පුළුවන. කෙසේ හෝ වේවා, කාබනික ගොවිතැනට සම්ප‍්‍රාප්ත වන්නට උත්සාහ කරන වගා කරුවා පහත සඳහන් කරුණු කාරණා අකුරටම ඉටු කල යුතුය, කොතරම් අපහසු හා සංකීර්ණ වුවත්.


  • තත්ත්ව පරීක්‍ෂණයට අවශ්‍ය සියළු අංග ඇතුලත් සංක‍්‍රාන්ති සැලසුමක් තිබිය යුතුය
  • මෙම සැලසුමෙහි ඉඩමට අදාල ඉතිහාසය, දැනට ඇති තත්ත්වය හෝ දැනට කරගෙන යන කටයුතු, සංක‍්‍රාන්තියට බලාපොරොත්තු වන කාලය සහ වෙනස් කර ගැනීමට අදහස් කරන කෘෂි වගා ක‍්‍රියාවලියන් දැක්විය යුතුය
  • තම කාබනික ගොවිපල අන් අසල්වැසි ගොවිපලවලින් හානිදායක නොවන ලෙස සැකසූ භෞතික මායිම් සැකැස්මක් තිබිය යුතුය
  • ගොවිපල ගනන් තැබීම් හා ක‍්‍රියාවන් වාර්තාගත කොට තැබීමට මනා සැලසුමක් තිබිය යුතු අතර බලාපොරොත්තු වන ගොවිපලෙහි සමාන්තරව දුවන වෙනත් කෘෂි වගා ක‍්‍රම ඇතුලත් කර නොගත යුතුය
  • ගොවිපලට යොදාගන්නා කොටසෙහි වගා ක‍්‍රියාකාරකම් කන්නයෙන් කන්නයට අදාල නොවන්නාවූ ක‍්‍රියාවලියන්ට මාරු නොකල යුතුය

 

(c) Shilpa Sayura Foundation 2006-2017