පාරිසරික අවශ්‍යතා
 

ගතානුගතික කෘෂි වගාව නන් ආකාර වූ පරිසර දූෂණයන්ට වගකිව යුත්ත බව පෙන්වා දීමට කරුණු කාරණා සහ සාක්‍ෂි බොහෝය. මෙහිදී කෘතිම කෘෂි රසායන ද්‍රව්‍යයන් අසීමිත ලෙස මුසු කර ගැනීමට සමාන්තරව පසට කාබනික ද්‍රව්‍යයන් එකතු කිරීමේ ප‍්‍රවණතාවයන් ගිලිහී යාම කණගාටු දායකය. ඒ නිසාවෙන්ම පස, ජලය සහ ආහාර දූෂිත වීමේ මාර්ගය විවෘතව ඇත. බොන ජලයේ නයිටේ‍්‍රට දූෂණය, මතුපිට ජල සංචිත වල සුපෝෂණය, ආහාර වල බැර ලෝහ හා පලිබෝධ නාශක විෂ තත්ත්වයන්ගෙන් තිබීම, යනාදිය සිදු වුනේද, සිදු වෙමින් පවතින්නේද නුසුදුසු ලෙස, නුසුදුසු ප‍්‍රමාණවලින්, නුසුදුසු අවස්ථාවන්ටද කෘෂි රසායනයන්ගේ භාවිතය නිසාමය. මෙම ත්ත්වයන් යටතේ ස්වාභාවිකව පසෙහි ඇති ජීවී සමූහයන්ට සහ ගහණයන්ට සිදුවී ඇති වින්නැහිය අවබෝධ කර නොගත හැකි මට්ටමටම අවාසි දායකය.


බොහෝ සිටිය යුතු හිතකර ජීවින් අද පසට ආයුබෝවන් කියා හමාරය. අවසානයේදී පරිසර තුලිත තත්ත්වයන් බරපතල ලෙස බිඳී ගොස් ඇත. එමෙන්ම ප‍්‍රතිඵලයක් ලෙස පස භෞතිකව, රසායනිකව හා ජීවීව හායනයන්ට පත්ව ඇත. සමහර පස් නැවත යථා තත්ත්වයන්ට පත්කර ගැනීමට දැඩි වෙහෙසක් දරන්නට සිදුව ඇත. සමස්ථ තිරසාර බව මේ මගින් ප‍්‍රශ්න කිරීමට භාජනය වී ඇත. මේ සියල්ල දන්නා බොහෝ අය පරිසර රැුකුමේ අගය ගැන මිනිසා දැනුවත් කිරීමට උත්සහ ගනිමින් සිටී. හොඳ උදාහරණයක් 1962 ලියා ප‍්‍රසිද්ධියට පත්කල රැචල් කාර්සන්ගේ “Silent Spring” නම් වූ පොත. එය සිංහලයටද පරිවර්ථනය වී ඇත, ”නිසල වසන්තය” නමින්.

මෙවන් මග පෙන්වීම් නිසා ලොව පුරා පාරිසරික සංවිධාන බිහි වීමේ ප‍්‍රවණතාවයන් ඉතා තදින් මතුව ඇත. බොහෝ පාරිසරික සංවිධාන අනාගතයට පිලිතුරු ලෙස පෙන්වා දෙන්නේ කාබනික ගොවිතැනෙහි උචිත බවයි. එම උචිත බව ජෛව විවිධත්වය තුලිත කිරීම, කෘතිම කෘෂි රසායනයන්ගෙන් ඉවත්වීම, සෞඛ්‍ය ආරක්‍ෂක ආහාර අනුභවයට ගැනීම, පසෙහි තිරසාර සරු බවෙහි වැදගත්කම අවබෝධ කර දීම, ඉන්ධන දහනය අඩු කර ගැනීමට යත්න දැරීම ආදිය තුලින් මනාව ගම්‍ය වෙයි. එමෙන්ම ගෝලීය උෂ්ණත්වය වැඩි වීමට එරෙහිව කාබනික ගොවිතැනට යමක් කරන්නට පුළුවන, වැඩිපුර කාබන් පසෙහි කාබනික ද්‍රව්‍යයන් ලෙස රඳවා තබා ගනිමින්. මෙය වාතයේ කාබන් ඩයොක්සයිඞ් සාන්ද්‍රණය අඩු වීම සඳහා පිටුවහලක්ද වෙයි, මද ප‍්‍රමාණයෙන් වුවද. මෙයට අමතරව කාබනික ආහාර මද වශයෙන් හෝ අනෙක් ආහාරයන්ට වඩා පෝෂ්‍යදායක, ආරක්‍ෂා සහිත සහ රසවත් බව සඳහන් වෙයි. සමස්ථයක් ලෙස ගත් කල සනීපාරක්‍ෂක ආහාර නිපයෙනු ඇත, සෞඛ්‍ය සම්පන්න පුරවැසියන් ඇති කරමින්.

(c) Shilpa Sayura Foundation 2006-2017