නූතන කාබනික ගොවිතැන
 

නූතන කාබනික ගොවිතැන යනු සත්‍ය වශයෙන්ම භෝග වගාවන් වලදී එකවර සිදු කල යුතු කාරණා කටයුතු සමූහයකින් සැදුම්ලත් ගොවිතැන් ක‍්‍රමයකි. එම කාරණා කටයුතු සමූහයට භෝග මාරුව, මිශ‍්‍ර වගාව, කොල පොහොර, කොම්පෝස්ට් සහ ගොවිපල පොහොර භාවිතය, ජීවීය හා යාන්ත‍්‍රීය පලිබෝධ නාශනය, සුමට ගොවි බීම් සැකසීම, පාංශු සංරක්‍ෂණය, සත්ව ඒකාබද්ධනය ගොනු කර ගැනීම සහ කෘතිම රසායනික ද්‍රව්‍ය, කෘතිම පොහොර, කෘතිම වර්ධක හෝමෝන, කෘතිම සත්ත්ව ආහාර ලබා දීම ආදියෙන් සහ ජාන තාක්‍ෂණයට භාජනය වූ ජීවීන්ගේ භාවිතයන්ගෙන් ඉතා කල්පනාකාරීව වැලකීමයි. මේ සියල්ල එක්වරම හැකි අයුරින් සිදු කර ගැනීම තුලින් කාබනික ගොවිතැනෙහි හිනි පෙත්ත ලඟා කර ගන්නට පුළුවන.

 
නූතන කාබනික ගොවිතැන් ක‍්‍රමය ජාත්‍යන්තරව අනුමැතියට පත්ව පාලනය වෙමින් බොහෝ රටවල නීත්‍යානුකූල තත්ත්වයන්ට පත්වෙමින් පවතී. කාබනික වගා කරුවන්ට ප‍්‍රමිතීන් සම්මත කරගෙන හමාරය. ඒ ප‍්‍රමිතීන්ට අනුකූලව වගා කටයුතු කෙරෙන්නේදැයි පරීක්‍ෂාවට භාජනය කිරීමේ ක‍්‍රමවේදයන් ඇති වී හමාරය. කාබනික ගොවි නිපැයුම් වලට හා ගොවිපල වලට ගෝලීය ලෙස පිලිගත්තාවූ සහතික කිරීමේ ක‍්‍රමවේදයන් ඉදිරිපත් වී හමාරය. මේ නිසා කාබනික ගොවිතැන සහතික වූ ගොවිතැන් ක‍්‍රමයක් බවට පත්ව ඇත, විශේෂයෙන්ම පාරිභෝගිකයාගේ මනා ආරක්‍ෂාව පතා. පුද්ගලිකව සත්‍යවාදී වීම මගින් කාබනික නිපැයුම් විශේෂයෙන්ම ජාත්‍යන්තර වෙලඳ පොලට ඇතුල් කිරීමට නොහැකිව ඇත. ජාත්‍යන්තර සම්මතයන්ට කාබනික වගා කරුවාට අනුගත වන්නට සිදුව ඇත. එහෙයින්ම කාබනික වගා කරුවා දැන ගත යුතු දේ බොහෝය. කාබනික වගාව සඳහා අවශ්‍ය මූලික මගපෙන්වීම් සපයා ඇත්තේ ජාත්‍යන්තරය පිලිගත් International Federation of Organic Agriculture Movements (IFOAM) නමැති සංවිධානය මගිනි.

මෙය රට රටවල ඇති කාබනික ගොවිතැන් ව්‍යාපාර සංගමයන් නියෝජනය කරන්නා වූ එකමුතුවකි. මෙය 1972 පිහිටවූ එකක් වන අතර ලාංකික සාමාජිකත්වය “Lanka Organic Agriculture Movement” (LOAM) මගින් ආවරණය වී ඇත. මෙය සංවිධානය කෙරී ලියාපදිංචිය ලබා ඇත්තේ 1979 වසරේදීය. IFOAM කාබනික වගාව නිර්වචනය කරන්නේ ඔවුන්ගේම වචන වලින් පහත අයුරින්ය.
“Organic agriculture is a production system that sustains the health of soils, ecosystems and people. It relies on ecological processes, biodiversity and cycles adapted to local conditions, rather than the use of inputs with adverse effects. Organic agriculture combines tradition, innovations and science to benefit the shared environment and promote fair relationships and good quality of life for all involved”