මිනිසා විසින් මූලික ශිෂ්ඨාචාරයන් පටන් ගත් තැන් පටන් ක‍්‍රම ක‍්‍රමයෙන් කෘෂි රසායන භාවිතයට ඇබ්බැහි වූ කෘෂි වගා පද්ධතියන්ට හුවමාරු වන තුරු පවත්වාගෙන ගියා වූ වගා පද්ධති සහ වගා ක‍්‍රමයන් කාබනික ගොවිතැනට මෙන්ම ජෛව-ගතික ගොවිතැනට වඩාත්ම නෑකම් කියයි. එසේත් නැතිනම් ආසන්න වශයෙන් සමානයි. වෙනසකට තිබුනේ එම නිපැයුම් අද මෙන් තරඟකාරී වෙළඳාම් කටයුතු වලට උපයෝගි කර නොගැනීමයි. දහ අට වන සියවසේදී පමණ කෘතිම පොහොර හා රසායන භාවිතය කෙරීගෙන ආ කාබනික ගොවිතැනට මුසු වීම තුලින් කාබනික ගොවිතැනෙහි වැදගත්කම අකා මකා ගියේය. මෙම කාල පරාසයේදී තර්කානුකූල විද්‍යාවේ දියුණුවෙන් හා රසායනික විශ්ලේෂණ හැකියාවල දියුණුවෙන් පැලෑටියක වර්ධනයේ රහස් රාශියක් හෙලි පෙහෙලි කර ගන්නට හැකි විය. සමාන්තරව විශේෂයෙන් කෘෂි භෝග වල අස්වැන්න නොසිතූ අයුරු ඉහල දැමීමටත් කෘෂි විද්‍යාඥයින් සමත් විය.
කෙසේ හෝ වේවා අද සිදු කෙරෙන කාබනික ගොවිතැන නූතන ගොවිතැන් ක‍්‍රමයක් ලෙස අභිෂේක ලබා ඇත. මේ පිලිබඳව ප‍්‍රචාරාත්මක මට්ටමේ වැඩ සටහන් 1930 සිට පමණ මතු වන්නට පටන් ගැනින. එංගලන්තයේ කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ සර් ඇල්බට් හොවාර්ඞ් නූතන කාබනික ගොවිතැනෙහි පියා ලෙස පිලිගනු ලැබ ඇත. එම කාල වකවානුවට සමගාමීවම වාගේ ජර්මනියේ රුඩොල්ෆ් ස්ටයිනර් ජීව ගතික ගොවිතැන ගැන වගා කරුවන් දැනුවත් කරන්නට පටන් ගත්තේය. කාබනික ගොවිතැන නම් යෙදුම ඉදිරිපත් කරනු ලැබුවේ 1940 දී නෝර්න්බර්න් නැමැත්තෙකි. මෙය ඔහුගේ “Look to the Land” හි ඇත. එම කාල වකවානුවේදී කාබනික ගොවිතැන ඉතා නොසැලකිය යුතු ප‍්‍රමාණයකින් ව්‍යාප්තව තිබුනි. කෙසේ හෝ පසු කාලීනව කාබනික ගොවිතැන අළු ගසා ප‍්‍රබල ගතිකත්වයක් ලබා ගති, වෘත්තිය මට්ටමේ තත්ත්වයක් ඇති කර ගනිමින්. මේ යටතේ කාබනික වගා කරුවෙකුට දැන ගත යුතු දේ බොහෝ ය. කාබනික ගොවිතැන් සංසිද්ධිය හොඳින් තේරුම් බේරුම් කර ගැනීමත්, එය කල යුතු ආකාරය රටකට හා ලෝකයට සම්මතයක් සේ ගලපා ගැනීමත් අවබෝධ කර ගැනීම අත්‍යාවශ්‍යය.
නූතන කාබනික ගොවිතැන පාරම්පරික ගොවිතැනෙහි මුල් බැස ගැනීමක් වුවත් එහි වර්ධනය සහ මේ සා ඇතිව ඇති ව්‍යාප්තිය විද්‍යානුකූලව පදනම් වී ඇත. මෙය බෝග වගාවේ විශේෂිත ආකාරයක් බවට අද පත්ව ඇත. කාබනික ගොවිතැනෙහි ව්‍යාප්තියට පක්‍ෂව හා විරුද්ධව නොයෙක් අදහස් මතු වූ අතරම දැනටමත් එසේ මතු වෙමින් පවතී. වසර 24ක් ඉන්දියාවේ දිලීර සම්බන්ධ විෂය පථයක කෘෂි වගාවේ නිරතව සිටි ඇල්ප‍්‍රඞ් හොවාර්ඞ් මහතා ඉන්දියානු කෘෂි වගා අත් දැකීම් මුසු කර ගෙන කාබනික ගොවිතැනෙහි හර පද්ධති හා දැක්ම හඳුන්වා දෙනු ලැබීය, “An Agricultural Testament” නම් පොතක් 1943 දී ප‍්‍රකාශයට පත් කරමින්. මෙහිදී තදබල ලෙස බර තබා තිබුනේ පාංශු සාරවත් බව වැඩි කිරීමට හා පවත්වාගෙන යාමට එම පරිසරයේම දක්නට ලැබෙන අපද්‍රව්‍යයන් ප‍්‍රතිචක‍්‍රීකරණය කොතරම් දුරට උචිතද යන්නයි. ඔහු කොම්පෝස්ට් සැකසීමේ ඉන්ඩෝර් ක‍්‍රමයද හඳුන්වා දුනි. ඔහු විසින් මෙම වපසරියට ලියවුනු තවත් පොතකි “Farming and Gardening for Health or Disease”.හොවාර්ඞ්ට සෑම විටම තිබුනේ N,P,K සංකල්පයකට වඩා හියුමස් සංකල්පයකි. ඔහු පාංශු රසායනය විසින් පාංශු ජීව ක‍්‍රියාවලියන් හා භෞතික ක‍්‍රියාවලියන් කඩා කප්පල් වන අයුරු පැහැදිලි කලේය.
ඔහු කෘතිම රසායනික ද්‍රව්‍යයන් ගොවිතැනට මුසු කරනවාට දැඩි ලෙස විරුද්ධ වූ හෙයින්ම සමහරු කාබනික ගොවිතැන කෘෂි රසායන භාවිත නොකර කරන ගොවිතැන ලෙස සරලව අවබෝධ කර ගති. නමුත් එය එසේම නොවේ, නූතන කාබනික ගොවිතැන ගැන බලන විටදී. එය බෝග වගාවේදී එක් වර සිදු කලයුතු කරුණු කාරණා ගොන්නකින් සැදුම්ලත් ගොවිතැන් ක‍්‍රමයකි.