07 කොටස
 

ගල්ලෑලි පොත් වල
විහිලු නොලියනු කිසිකල
පිරිසිදුව හැම කල
තබනු පොත් පත් සියලු දේපල

ගල්ලෑලි හෝ පොත් පත්වල කිසි විටක විහිලු දේ නො ලියන්න, පොත් පත් ආදී තමන් අයත් සියලු දේ හැම විට ම පිරිසිදුව තබා ගන්න.


 

පාසැලෙහි තැන තැන
කෙල නො ගසන් නොහොබි දැන
සෙම් සොටු සූරන
මිදුලෙහි ද නො දමන් කිසි තැන

පාසැලෙහි තැන තැන කෙළගැසීම නුසුදුසු ක්‍රියාවක්‌ බව දැන එසේ නො කරන්න. සෙම් සොටු සූරන් මිදුලෙහි කිසි තැනක නො දමන්න.

සිඟා කා ගෙන වත්
කිලුටු වැරහැලි ඇඳවත්
බිම වැටී ඉඳවත්
මහත් සැපවෙයි ඉගෙන ගතහොත්

සිඟා කාගෙන වුවත්, කිලිටි වැරහැලි හැඳගෙන වුවත් බිම වැටී හිඳගෙන හෝ ඉගෙනගත හොත් මහත් සැප ලැබෙන්නේ ය.

මවු පිය රවටලා
නො ගනින් කිසිත්ඉල්ලා
මව් පියන් වැඳලා
ගනින් දූනෑ යමක්‌ ඉල්ලා

මව් පියන් රවටා කිසිවක්‌ ඉල්ලා නො ගන්න. අවශ්‍ය යමක්‌ මව්පියන් වැඳ ඉල්ලා ගන්න.

දෙගුරුන්ට හිරිහැර
නො කරන් කිසිත් කරදර
පින් සිදුවෙයි නිතර
කරන් ආදර ගුණය හැමවර

දෙගුරුන්ට කිසි විටක හිරිහැර කරදර නො කරන්න. හැම විට ම ආදරයෙන් ක්‍රියා කරන්න. එයින් නිතර පින් සිදු වේ.

පියාට ඉහළින් නොයිඳින් කිසි තැන
මව්හට ඉහළින් නොයිඳින් කිසි තැන
අයියට ඉහළින් නොයිඳින් කිසි තැන
අක්‌කට ඉහළින් නොයි න් කිසි තැන

පියාට, මවට, අයියාට. අක්‌කාට ඉහළින් හිඳ නො ගන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017