හත්වන දර්ශනය
 

වැදි රජු : (මනමෙට) තමා යුද්ද කරල ඉවරද?


මනමේ : ඔව්.


බිසව : කෝ තමන්ගෙ සෙනඟ


වැදි රජු : සෙනඟ ඉවරයි.


මනමේ : ඒ ගොල්ලො ඉවර තමා.


වැදි රජු : එහෙනන් තමා යුද්ද කරන්න දක්ෂයෙක් නේද?


මනමේ : ඔව්. මොකෝ කියන්නේ?


වැදි රජු : තමාගේ කල්පනාව මොකද්ද?


මනමේ : එන ඕන කෙනෙක් එක්ක යුද්ධ කරනවා.


වැදි රජු තමන් කැමතියි යුද්දෙට?


මනමේ : ඔව්.


වැදි රජු : එහෙනන් තමන් දුනුවලින් යුද්ද කරනවා


වාදකයෝ කවි ගයති :


ගුණෙන් උතුම් නරනිඳු සමඟ යුදයට
ගණන් නැතිව වැද්දෝ ආවා යුදට
විකුන් බෙලෙන් ඒ උන් පිරිස සුන් කොට
රජුන් දෙදෙන සබයට බැසපු යුදයට


(දෙදෙනා දෙපැත්තේ සිට දුනු ගෙන යුද්දය කරන ආකාරය පෙන්වති. බෙර වාදනය වෙයි)


බෙර වාදකයෝ ගයති.


දෙදෙනා යුදෙන් දෙදෙනගෙ ඇඟ හා නොවැද
සරොස සිතින් දුනු හී බිම ගසා සොඳ
වැර බලයෙන් නසමැයි වැදි රජුන් අද
පොර බදමින් රජු දෙදෙනා රොසින් තද


(දෙදෙනා දුනු ගලවා බිම තබා ඊතල මිටිය බිම තබා අත්වලින් පොර බදන්නට සැරසෙති)


වැදි රජු : දැන් මොකද වුණේ? දෙන්නගෙම දුනු සිල්ප එක වගෙයි.


මනමේ : දැන් මොකද කල්පනාව?


වැදි රජු : දැන් එහෙනන් කඩුවෙන් (කඩු සටන පටන් ගනිති)


වැදි රජු : කඩු සිල්පත් එක වගේම තමයි. දැන් මොකද කරන්නේ?


මනමේ : ආයුධ ඉවරයි නේද? දැන් අපි අපේ ශක්තියෙන් සටන් කරමු.


වැදි රජු : ඒව හොඳ වැඩ.


(දෙදෙනා පොර අල්ලති. බෙරය වාදනය වේ. උච්ච අවස්ථාවට පත් කල වැදි රජු බිම දමා යට කර ගෙන තම බිසව දෙස බලා ඇගේ අතේ ඇති කඩුව ඉල්ලීමට කවිය කියයි)


වැරෙන් සිටිය වැදි රජු හෙළා යට කර ගතින්-මට
විකුන් බලය මගෙ නොදත් සෙයින් පැන ආව දැන්
උතුන් ගුණැති මගෙ දිමුතු කුමරි මා දෙස බලන්-මට
දියන් කඩුව මුගෙ කුලල කපා ලන්නට මෙදැන්
 


(බිසව කඩුව ඕනෑකමින්ම දෙන්නේ වැදි රජුටය. මනමේ රජු කපා බිම හෙළනු ලැබේ. බිසව වැදි රජු දෙස ආදරයෙන් බලමින් ඔහු පසුපස යයි. රජු බියවෙයි. ඒ ඒ යයි කිය කියා වටේ දුවයි)


වැදි රජු : මම හිතුව මේ මිනී මරා දාපු තැන අවතාරයක්වත්ද කියල.


බිසව : (කොමල පාමින් ළංවී) ඇයි අඳුරන්න බැරි වුනාද මාව?


වැදි රජු : අනේ මේ අඳුනගත්ත. දැක්කත් සන්තෝෂයක්. දැකීමත් එක ප්‍රීතියක්.


බිසව : ඒක තමයි මට දුක හිතුනා ඔයාගෙ අතින් අදින කොට. ඒකයි කඩුව දුන්නෙ. ඔයි මම කන්න දීපුවයි හයිය තමා.


වැදි රජු : ඉතින් ඇත්තට මොනවද කන්න දුන්නෙ. ඔච්චර හයිය ඇති වෙන්න.


බිසව : මොකුත් අමුතු දෙයක් දුන්නේ නැහැ. මගේ අත් දෙකෙන් කන්න දුන්නොත් එහෙම තමයි.


වැදි රජු : මේ මට දුන්නත් ඒ වගෙයි.


බිසව : ඔව් ඉතින් දැන් අපි යමු යන්න.


වැදි රජු : කොහේද?


බිසව : ඇයි ඕගොල්ලන්ගේ මාළිගාවට


වැදි රජු : හා හා එහෙනන් අපි යාම කරමු.


වැදි රජු : ආදර ප්‍රේම දායාද වූ කෙනෙකි ඔබ මට බොලන්-මහ සාගර වැනි මෙගඟෙන් යන්නෙ කෙලෙසද කියන්//
පැහැදුල වෙයි ගඟ එගොඩ කරල එමි සහතිකෙන්-මට ආදර තිබේද කිය දැන්නුව හොඳයි දැන්//


බිසව : මොකද්ද ගඟකින් එගොඩ වෙන්න ඕනයි කිවුවෙ?


වැදි රජු : මේ ගඟක් තියෙනවා නේ යන පාරේ. මාළිගාව තියෙන්නෙ දුර. අර හැතැප්ම ගාණක් දුර ලාම්පුවක් තියෙනව. අර පේන්නෙ.


බිසව : මේ ළඟ නොවේද?


වැදි රජු : නැහැ නැහැ බොහොම දුරයි.


බිසව : එහෙනන් අපි යමු යන්න.


අපි මේ ඉන්නෙ වනන්තරේ මැද හරියෙ. මේ වනන්තරේ යොදුන් පන්සියයක් නේ.


බිසව : ඉතින් ඒක හරි.


වැදි රජු : ඉතින් යනව නම් අපි කතාවක් කර ගන්න එපැයි. යනව නම් අපි දැනගන්න එපායැ. යන විදියක්. මේ ගඟේ ඉන්නව. භයානක මිනීමෝරු ඉන්නව. කිඹුල්ලු ඉන්නව. ඒ වගේම දෙන්නෙකුට එක පාරේ යන්නත් බැහැ. මම එන්නෙ ඔරුවෙ නේ?


බිසව : ඉතින් යන්නෙ කොහොමද?


වැදි රජු : යනව නම් යන්න ඕන මම ඉස්සෙල්ලා. කුමාරිහාමිගෙ ඇඳුම් ටික මට දුන්නට පස්සේ ඒ ඇඳුම් ටික එගොඩහ ගෙනිහින් තියල ඇවිල්ල ඊට පස්සෙයි කුමාරි හාමි ගෙනියන්න ඕන. එහෙම නැතිව කුමාරිහාමියි කුමාරිහාමිගෙ ඇඳුනුයි කුමාරිහාමියි දෙන්නෙක් එක්ක යන්න බැහැනේ. ඒ කියන්නෙ කුමාරිහාමිගෙ ඇඳුන් බොහොම බරයි නේ? එතකොට තුන් දෙනෙක් වෙනව නේ.


බිසව : අනේ මම දන්නෙ නැහැ (හඬයි)


වැදි රජු : නාඬ ඉන්නකො මම එන්නම්
ඉතා ගුණැති සෙනෙහසයෙන් මගෙ දිවි ගලවා දුන් - ළඳ පතා ඉඳිමි වෙන් නොව කල් කර එන ලෙසින් ගතා පැළඳි අබරණ එගොඩ කර ගංතෙරින් මගෙ පුතා පල්ල එමි රැගෙන යන්ඩ නුඹ සහතිකෙන් මොකද කුමාරිහාමි අහක බලාගෙන ඉන්නෙ?


බිසව : එහෙම තමයි.


වැදි රජු : ඇයි මම සහතික වුණා නරකද?


බිසව : මම කර ගත්තු දෙයක් කියල මම හිතන්නෙ.


වැදි රජු : අඬන්නෙපා. අඬන කොට මටත් ඇඬෙනවා. අපි තනිවෙලා ඉන්න අවස්ථාවේ.


බිසව : මේ පවුල් කාරයෙක් නේද?


වැදි රජු : මමද? මගේ ඒ අර මගේ පුතාපල්ල කිවුව එක ගැනද? නැහැ. නැහැ. ඒ මගේ මලිලිගෙ පුතා.


බිසව : අනේ මට හිතෙන්නෙ නම් පවුල්කාරයෙක් කියලා.


වැදි රජු : නැහැ. නැහැ. මම පවුල්කාරයෙක් නෙවෙයි.


බිසව : ඔයි ඇත්තෙයි. බොරු කියන්න එහෙම එපා.


වැදි රජු : මම බොරු කියන්නෙ නැහැ කවදාවත්.


බිසව : එහෙනන් අපි දෙන්නම යමු.


වැදි රජු : බැහැ. බැහැ. ඔයි ආභරණත් එක්කල යන්න බැහැ. බොහොම බරයි. ඒවගේම බොහොම විසකුරු සර්පයෝ ඉන්නව.


බිසව : විසකුරු සර්පයෝ කොහෙද ඉන්නේ?


වැදි රජු : නැහැ. නැහැ. මට වැරදුනා. විසකුරු දැතිමෝරු බොහොම විසයි. කිඹුල්ලු ඉන්නවා. මට යුද්ධ කරල බොහොම අමාරුයි. මම ගඟෙන් එගොඩහ ආභරණ ටික තියල ඉක්මනට එන්නම්.


වාදකයෝ :


යාම ලෙසට බිසවුන් පැළඳි අභරණ
කොළ වැල් පැලඳ ගලවා අතට ගනිමින
නොයා නොවී බිසවට වින කරන
ගියා වැදි රජුන් යළි නොම එන ලෙසින

(c) Shilpa Sayura Foundation 2006-2017