පස්වන දර්ශනය
 

වැදි රජු : දෙටුවා මේ ගොල්ල කියනවා වනේ වසන වැදි ොල්ලොයි කියලා.
 
 දෙටු : වැදි කොල්ලො කියල.
 
 වැදි රජු : හා හා වැදි කොල්ලො කියල-එයාගෙ හිතේ ඇති අපේ වනාන්තරයට ඇවිල්ල අපිටත් වැදි කොල්ලො කියල
 
 වැදි රජු : පන්සියයක් මේකෙ වටේ මුර කරනවා.
 
 රජු : ඒව දන්නෙ නැතුව ඇති.
 
 වැදි දෙටු : අද ඉතින් ගිහිල්ල ඉවරයි.
 
 මනමේ : නොයයි කියලා තමයි බය.
 
 වැදි රජු : එහෙම නෙවෙයි තමාට මම නැවත වරක් කියනවා.
 
 මනමේ : මොකද්ද කියන්නෙ
 
 වැදි රජු : පුලුවන්නම් ඉක්මන් කරල මේ වනාන්තරයෙන් පිටවෙලා යන්නෙයි කියලා.
 
 මනමේ : යන්නෙයි.
 
 වැදි රජු : ඔව්.
 
 මනමේ : අද ඕනකමකටද?
 
 වැදි රජු : ඔව්.
 
 මනමේ : දැන්මම?
 
 වැදි දෙටු : මේ ලාබාලකමට මන් හිතන්නෙ (මනමේ රජු වැදි දෙටුවාට කඩුව ඔසවයි. ඔහු අම්මේ කියා කෑ ගසයි)
 
 වැදි රජු :(දෙටුවාගෙන්) තමා බය වුනාද?
 
 දෙටු : මං මං කියන්න හැදුවේ මෙතෙන්ට ඇවිල්ල‍ මේ නොදන්නකමට කෑගහනවා පිස්සෝ වගේ. තව බොහොම කාලයක් ඉන්න වාසනාව තියෙන දෙන්නෙක්.
 
 වැදි රජු : හරි දෙටුවා. තව කාලයක් ඉන්න පුලුවන් දෙන්නෙක්. ඒක නිසා අපිට කනගාටුයි මේ දෙන්න අපේ අතින් මැරෙනවාට.
 
 මනමේ : එහෙනන් අපි යන්නද?
 
 වැදි රජු : පණ බේර ගෙන යන්න හදන්නෙ (ප්‍රේක්ෂකයින්ට) අරින්න තමයි මේ හදන්නෙ. පණ බේර ගෙන යවන්න තමයි මේ හදන්නෙ. අපි අපේ යුතුකම් ඉෂ්ඨ කරන්නයි හදන්නෙ.
 
 දෙටු : ඒව සලකන්නෙ නැහැනෙ මේ උදවිය. කිවුවට මොකද යනව නම් යනව බේරිලා.
 
 වැදි රජු : විපරිත බස් නොදොඩා යනු දිවි රැක ගෙන තමා - අද සපිරි සිතින් සිය පුරට යාම අනුමාන මා කුරිරු කරන පපු කුලයෙන් වෙන් කර දමා - අද කුමරි නුදුන්නොත් මරනෙමි තා සැණයෙන් මෙමා
 
 බිසව : නිකන් හරියට වෙන්දේසියකට තියපු බඩුවක් ඉල්ලනව වගේ නේ?
 
 රජු : එහෙම නෙවෙයි. ඒ ගොල්ලන්ට යුතුකමක් තියෙනවා.
 
 දෙටු : ඔව් යුතුකමක් තියෙනවා. මමත් කැමතියි තව සැරයක් කියල බලමු.
 
 රජු : මේ කුමාරයා ලාබාල කුමාරයෙක්. තාම ඉගෙන ගත්තු ගමන්නේ. පිය රජ්ජුරුවොත් බොහොම කැමැත්තෙන් ඇතිනෙ බලාගන්න.
 
 දෙටු : ඉගෙන ගත්ත විතරයි. තමන්ට සන්තෝසෙන් භාර දුන්නු ගමන්මනේ.
 
 මනමේ : බැද්ද මැදට රජකම් හිවලෙකු ලෙසින් - බස සිද්ද නොවෙයි මගෙ විකුන් බලය අහගනින් ඇද්ද තවත් රජ කුමරියො පාවා වැදි කොලුන්-අද යුද්ද කරල මිස කුමරි නොදෙමි මම සහතිකෙන්
 
 වැදි රජු : දෙටුවා මෙයා කියනවා යුද්ද කරල මිසක් කුමාරිය දෙන්නෙ නැහැ කියලා. මට බොහොම කනගාටුයි.
 
 දෙටු : දෙන්නෙ නැහැ කියල.
 
 රජු : එහෙනන් තමන්ගෙ කල්පනාව යුද්ද කරන්නයි.
 
 බිසව : අපි යමු යන්න.
 
 වැදි රජු : හා යන්න පුලුවන්. බලමු යන හැටි. එහෙම නෙවෙයි තමන් යුද්ද කරන්න කැමති නම් මගේ සේනාව පන්සියයක් ඉන්නවා.
 
 මනමේ : ආ ඇත්තද? මම තනියෙන්. කමක් නැහැ.
 
 වැදි රජු : ඒ පන්සියය එක්කම යුද්ද කරනවා.
 
 බිසව : ඇයි අපි දෙන්නම ඉන්නේ.
 
 වැදි රජු : එහෙම යුද්ධ කරන එකයි තියෙන්නෙ. දෙටුවා.
 
 දෙටු : මන්දෝ.
 
 වැදි රජු : තමා යුද්දෙට ලෑස්ති වෙන එකයි තියෙන්නේ. තමා කිසිදේකට බය වෙන්න එපා.
 
 දෙටු : මං බය වෙන්න? (එහෙත් ඔහු අභිනය පාන්නේ මහත් බියකින් වෙළුණකු ලෙසය) (මනමේ රජු දෙසට හැරී) ඔයි මාරකෙන් බේරිලා එහේ ගිහිල්ල පවුලක් කර ගෙන ජීවත් වෙන්න බලනවා.
 
 මනමේ රජු : (ඉදිරියට එමින්) තෝ මම තියන්නෙ නැහැ. (වැදි දෙටුවා බිසව වටේට දුවන්න ගොස් මඳක් දුර ගොස් නවතියි)
 
 බිසව : මොකද්ද අනේ මේ වෙන්න යන්නෙ? කුඩා කාලෙ ඉඳල ඔබ වහන්සේ අපේ පියතුමා ළඟ ඉඳගෙන ඉගෙන ගත්ත සන්තෝෂයට ධනුද්දර කියල නාමයකුත් දීලා මාව සරණ පාවා දීලා මේ ගමන එවුවේ. මේ යන අතරමගදී හදිසි යුද්දෙකට පැටලිලා.
 
 මනමේ : ඉතින්
 
 බිසව : මට කියන්නත් කනගාටුයි.
 
 මනමේ : ඉතින් කියන්න.
 
 බිසව : එහෙම වුනොත් මට ඔබ වහන්සේ නැති වෙනවා. මාව අතර මඟ අනාථ වෙනවා. (අඬයි)
 
 මනමේ : ඇත්ත.
 
 බිසව : ඒක හින්දා ඔබ වහන්සේ මාව දීලා බේරිලා යන්න.
 
 මනමේ : කාට දීලද?
 
 බිසව : මේ වැදි රජුට දීලා.
 
 මනමේ : මොනවා. මීට පස්සෙ මට ඔයි වගේ වචන කිව්වොත් කපලා දානවා කඩුවෙන් කුලල.
 
 වැදි දෙටු : කැතයි කැතයි.
 
 බිසව : ඔබ වහන්සේට ආදරේටයි එහෙම කියන්නෙ
 
 මනමේ : මට ආදරේට? එහෙම කියන්නෙ?
 
 වැදි රජු : මේ කුමාරයා නම් හරිම මෝඩයෙක් වගෙයි.
 
 දෙටු : ඇත්තමයි හරිම මොඩයි.
 
 වැදි රජු තම පිරිසට :
 
 බැද්ද මැදට රජකම් කෙරුමට දෙමි නුඹලටත්
 සිද්ද රත්න මෙම කිරුළය පළදිමි නුඹලටත්
 බැද්ද මැදෙහි රජකම් කෙරිමට දෙමි නුඹලටත්
 යුද්ද කරල මෙම කුමරිය අරන් දෙනවද මටත්
 
 දෙටු : අනේ රජ්ජුරුවන් වහන්සේ ඕකත් වැඩක්ද?
 
 වැදි රජු : දෙටුවා කිසි දේකට බය වෙන්න එපා. පන්සියයක් මගේ සේනාව තමා භාරයේ ඉන්නෙ. ඒ එකිනෙකා යවලා මේ කුමාරයාව විනාශ කරන්න ඕන. දෙටුවා මගේ යුතුකම් තමාට මම ඉෂ්ඨ කරනවා. (මනමෙට) තමා වැදගත් කුමාරයෙක් හින්ද මම දෙපාරක් තුන්පාරක් තමාට කිවුව.
 
 මනමේ : ඔව්
 
 වැදි රජු : තමා මැරෙන්නයි දඟලන්නේ.
 
 මනමේ : මම
 
 වැදි රජු : ඒක නිසා යුද්දෙට ලෑස්ති වෙනවා. මගේ සේනාවත් එක්ක
 
 මනමේ : ඔව් මම ලෑස්තියි. තමාගේ පන්සියයක් මම තනියෙන්.
 
 දෙටු : අයියෝ ගෝයියෝ ලයියෝ මෙහෙ වරෙල්ලා
 
 (එක් වැද්දෙක් ඉදිරියට එයි. රජු සමඟ යුද්දෙට එළඹෙයි. දුන්න ඊය සමඟින් ඔහු යුද්දය පවත්වන කල අත වැසියා ගොස් පොල් අතු ඉරු දෙකක් බිම එලයි. යුද්ධය කෙළවර වන්නේ වැද්දා මැරී පොල් අතු ඉරුව උඩ වැටීමෙනි. මේ ආකාරයෙන් සෙසු වැද්දෝ යුද්ධ කරති. යුද්ධ කොට එකිනෙකා පොල් අතු තීරු උඩ මැරී වැටෙති. අවසාන වැද්දා මැරී වැටෙනවාත් සමග මෙතෙක් කෙළින් නැගිට සිටි වැදි දෙටුවා හෙමි හෙමින් ඇදි ඇදී ගොස් මළවුන් අතර දිගා වෙයි. බිසව සමඟ මනමේ වැදි සෙනඟ මැරී සිටින තැනට එති. පැමිණ මළකුණු එකින් එකට පයින් ගසා ඒ පැත්තට මේ පැත්තට පෙරළා දෙටුවා සිටීදැයි සොයති.)

(c) Shilpa Sayura Foundation 2006-2017