එවන රජ කරනා
කුරිරු වැදි රජ සැණිනා
දුනු හී ද රැගෙනා
ඇවිදිනා සඳ දුටිය දෙදෙනා
දැක බිසවට ලොබින්
නිරිඳු හට තද රොසයෙන්
මගේ මෙම වනයෙන්
කොතන යවිදැයි ඇසිය තදයෙන්
අබරණ පැළඳලා
හීය ගෙන දුන්න විදලා
යමයකු ලෙස බලා
ඒය වැදි රජු සබේ මෙකලා
(වැදි රජු සබයට පිවිස වටේ යයි. ඒ අතර බෙර වාදකයෝ තානම ගයති)
තෙන තෙන තම් තෙනා තෙන තෙන තම් තෙනා
වැදි රජු දෙටුවාට : දෙටුවා මාව කැන්දු කාරණාව වහා දන්වනු.
දෙටු : අපි මේ පුවක් බඩිල්ලෙක් කක කකා ඉන්න කොට මගේ සිටු කුමාරයාට බඩගිනියි කන්න දෙයක් ඇවිල්ල ඉල්ලුවා. අපිත් කක කකා හිටිය මස් ටිකක් දුන්නා.
වැදි රජු : දෙටුවා තමන් දන්නෙ නැද්ද උඩින් පියාසර කරන සතෙක්වත් බිමින් බඩගාන කුර ගානා සතෙක්වත් මගේ අවසරයක් නැතිව මේ වනයට එන්නෙ නැති විත්තිය.
දෙටු : මොකෝ දන්නෙ නැත්තේ. (ප්රේක්ෂකයින්ට) ඒ උනාට ඔයි ඇවිල්ල ඉන්නෙ. කොහෙන්ද ආවේ කියල නන් දන්නෙ නැහැ.
වැදි රජු : ඒකෙන් කියන්නේ තමන්ගේ රාජකාරිය තමන් හරියට ඉටු නොකරපු බව.
දෙටු : බලාගෙන තමයි උන්නෙ.
රජු : තොප බලන් හිටියනම් කොහොමද ආවෙ.
දෙටු : එන්න පුළුවන් බව නම් පේනවා.
රජු : එන්නෙ කොහොමද?
දෙටු : කකුල් දෙකින්
රජු : තමන්ට මම ආයිත් මතක් කරනවා.
දෙටු : කොහොමද ඇවිල්ල ඉන්නෙ කියන විත්තිය පේනවා. බුක් බුක් වගේ ගාල සද්දයකුත් ඇහුනා
රජු : තමා දන්නවද මගේ අණසක? තමා නිදා ගෙන ඉඳල තියෙනවා.
දෙටු : නැහැ. මන් නිඳා ගෙන උන්නෙ නෑ. ඒ වුණාට ඇවිල්ල නම් ඉන්නවා. ඇවිල්ල ඉඳලා කන්නත් ඉල්ලුවා.
වැදි රජු : ඒ ගොල්ලො දන්නවාද මේ වනන්තරේ කන්න දෙයක් නැති වග.
දෙටු : ඒ උනාට ඒ ගොල්ලො සිතා ගෙන ඉන්නෙ මේ වනාන්තරේ අපි හෝටලයක් දා ගෙන ඉන්නවා කියල. ඇවිල්ල ඉල්ලුවා අඬ අඬා. ඉල්ලපු හින්දා දුන්නා. ඒක ආපහු ගෙනැල්ල මගේ ඔලුවට පටෝන් ගාල ගැහුවා.
රජු : තමාගේ ඔලුව පිපුරුනාද?
දෙටු : පිපුරුනාදත් අහනවා.
රජු : තමා මස් කෑල්ලක් දුන්නම ඒක අරන් ගිහිල්ල ආයිමත් ඇවිල්ල ඔලුවෙ ගැහැවුවා.
දෙටු : ඔලුවෙ ගැහැව්වා. පැලිලත් ඇති.
රජු : තමා කිව්වද ඒ අයට මෙහෙම තමන්ට රජ කෙනෙක් ඉන්නව කියල.
දෙටු : මොනව කියන්නද? කිට්ටු වෙන්නවත් පුලුවනෑ. අපි දිහා බලන්නෙවත් නැතිව ඉන්නෙ. අපි හරියට එයාගෙ කතාවට මදි වගේ. මන් ඒකයි ගිහිල්ල රජ්ජුරුවන් වහන්සෙට කෙළින්ම නොකිවුවෙ.
රජු : දෙටුවා, එහෙම නෙවෙයි ඔබ නැවත වරක් ගිහිල්ලා මේ වනන්තරේ කොයියම් අමතක වීමකින් හරි වැරදීමකින් හරි ආවා නම් ඒ අයට පණ බේරා ගෙන මේ වනාන්තරෙන් පිටවෙලා යන්න කියලා කියන්න ඕන.
දෙටු : මං කියන්නම ඕනැද?
රජු : ඔව්. තමන් ඉක්මනට ගිහිල්ල ඒ අයට කියන්නම ඕන.
දෙටු : මං යන්නම ඕනැද? (බියෙන් හා සැකයෙන් යුක්තව)
රජු : තමා බයද?
දෙටු : මං?
බෙර වාදකයන්ගෙන් තානම :
තන තම් දෙනා තානෙන තම් දෙනා තනා
