දෙවන දර්ශනය
 

බෙර වාදකයාගේ තානම :
 
 තම් දෙන තන තනෙන - තන තෙන නා
 
 මන් සිත තුට වඩන හිමි රජ අප මෙ ගැනේ
 ගින්නක් වැදී දයි මගෙ හදවත ඉතිනේ
 යන්ඩත් ඉතින් ගැළවී යමුද කෙලෙසි නේ
 දෙන්නෙක් ඇවිත් වැද්දෝ සබයේ සිටිනේ
 
 (තවත් වැද්දෙක් පෙර විලසම බෙර පදයට අනුව ඉහත පද තුනම කියා ගොස් අනික් වැද්දන් සිටින තැනට යන අතර වාදකයෝ ගයති.)
 
 රන්කඳ සදිසි හිමිසඳ අසනුය මෙබස
 චංචල විය මසිත සිටිනට මෙවන දෙස
 පින් ඇති ඔබට යමු ගැළවී යන විලස
 තුන්දෙන ඇවිත් වැද්දෝ සබයට පිවිස
 
 (සතර වැනි වැද්දා ද පෙර පරිදිම සබයට ඇතුළු වෙයි.)
 
 නිතර මසිත දුක හිමි නිරිදුනි අසනු
 අතර මඟ ඇවිත් සිදුවුණු දෙය බලනු
 සතර වරන් දෙවියෝ දැන පිහිට වෙනු
 සතර දෙනෙක් වැද්දෝ ඇයි අර බලනු
 
 (බිසව නැගිට සිටියි. වැද්දෙකු පෙන්වා තම සැමියාට)
 
 සතර දෙනෙක් වැද්දන් ආවාය ස්වාමිනි අර බලන්න.
 
 රජු : කිසි දේකට බය වෙන්න එපා. ඒවා ඔක්කෝම මම බලාගන්නම්.
 
 තානම : තාන තනෙන තන // තානා
 
 රජු : දුකක් වැදී ළතවෙන්නෙ කිම බිස කිය මටා - විසි කෙළක් පැමිණ සිටියත් මදි මගෙ එක අතකටා මතක් වේවි වැදි සෙන් ආවොත් පෙරමුණටා - කිසි බියක් නැතිව ගිම හැර යමු අපේ සිය පුරටා
 
 තානම : තන තදෙන තාන තාන තදෙන තන තානෙනා
 
 රජු : වැද්දන් සතර දෙනෙක් නොව සිය ගණනක් ආවත් මගේ එක අතකට මදි බව ඔයා දැනගන්න.
 
 (තවත් වැද්දෙක් බෙර පදයට අනුව පිවිසෙයි)
 
 බිසව :
 බස් මගෙ අසන් හිමි සඳ සිත් සතුටු වෙනා
 හස්තිද දිවි වලස් පිඹුරන් වට සිටිනා
 යක්ෂයෝ විලස වැදි සෙනගත් හඬ පානා
 පස් දෙන ඇවිත් වැද්දෝ සබයේ සිටිනා
 
 වැද්දෝ පස් දෙනෙක් ආවාය. හිමි තුමනි අර බලන්න.
 
 (වැද්දන් පස් දෙනාගෙන් එකෙක් වැඳි දෙටුවාය. ඔහු නැගිට සිටින අතර අනික් හතර දෙනා ගොස් පිදුරු ගෙනැවිත් ගොඩ ගසා අමු මස් ගින්නට දමා පලහන විලාසයක් පෙන්වති. රජු ද බිසව ද මේ දෙස බලා ගෙන සිටිති.)
 
 රජු : අරණ තුළේ වැසෙනා අර වනචර වටකරන්-උන් රැගෙන පුලුටු මස් බුදිති දමා ගින්නට රොසින් වැදුන ක්‍ෂධා ගිනි නිවුමට නැත වනෙ රස බොජුන්-මට බුදින ලෙසට මොකවත් ගෙන එනු වැද්දන් අතින් බුදින ලෙසට මොකවත් ගෙන එනු වැද්දන් අතින් බුදින ලෙසට මොකවත් ගෙන එනු වැද්දන් අතින්
 
 කුසගින්න ඉතා තද බැවින් වැද්දන්ගෙන් කෑමට යමක් ගොස් ඉල්ලා ගෙන එනු බිසවුනි.
 
 තානම : තම්දෙන තම් තානෙනා තන තම්දෙනා තම් තානෙනා
 
 බිසව :
 තෝරණ සිතින් අප ගැන තොප කරුණ කොට
 කුසගිනි ගාය වැඩිවිය අපෙ හිමි රජුට
 තොප කන දෙයින් මොකවත් ඉල්ලා ගන්ට
 සතොසින ආමි නරනිඳු සඳ කී බසට
 
 වැදි දෙටුවා : බඩගිනි වැඩිවිය කියල ආවට මෙහේ හෝටල්දාගෙන නැහැ. ගිහිල්ල මේම දුන්නහම බළල්ලු කිරිකඩ කෑව වගේ හිටීවි. ගිහිල්ල මේක කාල අපේ රජ්ජුරුවන් එක්ක යන්න සූදානමින් ඉන්න එක හොඳයි.
 
 බිසව : බඩගින්න නිසා ඔයි කන දෙයින් යමක් ඉල්ලා ගෙන යන්නයි ආවේ.
 
 දෙටුවා : ඒක තමයි මම කියන්නේ. අපි මේ යන්තමට හොයාගෙන පුවක් බඩිල්ලෙක් පුච්චගෙන කක කකයි හිටියේ.
 
 බිසව : අල්ලන්නත් කැතයි (මියගිය කටුසු සිරුරක් අල්ලා දෙයි. ඉතින් කන්නෙ කොහොමද? බිසව එතැනින් ඉවත්ව තම සැමියා සිටින තැනට යාමට පිටත් වෙයි. වාදකයෝ තානම ගයති)
 
 තම් දෙන තනා තනම් දෙන තානා තෙනානා
 
 රජු : (මස් කෑල්ල අතට ගෙන) ළමා බොළඳ මගෙ අසනුය දී දෙසවන් යොමා-සිත පෙමා නොවන අමු මස් කනු බැරි විලසමා
 නිමා නොවන කුසගිනි තිබුණත් පිළිකුල් මෙමා-එහි දමා වීසි කර එනු අමු මස් උන් රැලයෙමා
 
 (රජු බිසවට මස් කෑල්ලක් දෙයි. බිසව එය රැගෙන වැදි දෙටුවා සමීපයට යයි)
 
 නොව රොස් සිතින් අප වනචරයින් මගැනා
 සිත තොස් නූනි තොප දුන් කෑම දකිමිනා
 එපියස් මිස නරන් නැත මේවා බුදිනා
 අමු මස් නොකති මගෙ හිමි අර ගනු එන්නා
 
 (බිසව අමු මස් කෑල්ල වැදි දෙටුවා දෙසට විසි කළාය. එය ඔහුගේ හිසේ වැදී බිම වැටේ. වැදි දෙටුවා කෑ ගසන්නට පටන් ගනිති. 'අනේ බුදු අම්මෝ' ඔහු හිස අත් තබා ගෙන කෑ ගසයි. අනිත් වැද්දෝ ඔහු වට කර ගනිති. 'හයියෝ ලේ චුරු චුරු ගාල එනවා. අනේ බුදු අම්මේ ආදි කෑ ගැසිලි ඇසෙයි. වැදි දෙටුවා කෝපයෙන් බිසව දෙස බලා සිටියි. බෙර වාදකයෝ තානම ගයති.)
 
 තාන තදෙන තන තාන තදෙන තන තාන තනා
 
 වැදි දෙටුවාගේ කවිය : ඉන්නේ නිරිඳු හට පන්සියයක් වැදි පිරිසයා-අඳු
 දන්නේ නැතිව අපේ නිරිඳුගෙ තෙද එකුමරයා
 දුන්නේ පිරුලු බස් ඔහු තෙපලූ ලෙස සත්තයා-මර
 වන්නෙ තෙදැති රජ කුමරු අපෙ නිරිඳුට කියා
 
 (දෙටුවා පිටත් වී යයි. බිසව තම සැමියා සිටින තැනට යයි. ඉතිරි වැද්දෝ දුනු හී අමෝරා ගෙන සිටිති. බෙර වාදකයෝ ආසිරි කවි ගයති.)

(c) Shilpa Sayura Foundation 2006-2017