(වෙස් අත්තට හෙවත් අයිලයට වම් පසින් බිම එලන ලද පැදුරක බෙර වාදකයෝ දෙදෙනා තමන් ඉදිරියෙහි බෙර දෙක තබා ගෙන මුහුණට ලා වාඩි වී සිටිති. කරළිය හිස්ය. බෙර වාදනය ආරම්භ වෙයි. ඒ සමඟම දෙදෙනා ආසිරි වාද කවි ගායනය පටන් ගනිති.)
ඉගෙන සිප් මෙසත ර
දුනු ශිල්පයද පරතෙ ර
දුව ලැබ එගුරුව ර
නමක් කුමරුට විය ධනුද්ද ර
මනමේ නිරිඳු සඳ
බිසවත සමඟ දෙදෙනද
නොරටක යන ලෙසද
වඩින රඟ බල මේ මැද
වඩින කල එවනේ
වැදි රජු සම්බ වෙමිනේ
බිසව හට ලොබිනේ
අනේ කුමරුට මරණ යෙදුනේ
වැදි සෙනඟ සමගින
යුද කර ඔවුන් මරමින
තම හිමි මරව මින
බලන් වියතුනි ලියන්ගේ ගුණ
එබව මෙහි පළ කොට
දුටු දන සිත් සතුටු කොට
වී රඟ දෙන ලෙසට
සොබන නිරිදුනි වඩින් සබයට
(මේ කවි අවසාන වන විටම වෙස් අත්ත ඉදිරියෙහි අත් පුටු දෙකක් ගෙනැවිත් එකට එක ළං කොට තබනු ලැබේ.)
(වාදකයෝ තානම ගයති.) තෙන තෙන් තෙන තෙනා තෙන තෙනෙම් තෙන තෙන තෙනා
(බෙර වාදනය කරමින් නැවත ඒ තානමම ගයති.)
ගුවන දිලෙන අරුණ කිරණ අවර ගිරට බැස යාමෙන
රැගෙන කඩුව දකුණත ගෙන එරන් දුන්න කර ලා ගෙන
නමින් ධනුද්දර සිරි දැරු අපෙ මහ බෝසත් සසොබන
වඩින රඟය බලනුය දැන් කුමරිගෙ අත අල්ලා ගෙන
(රජු බිසවගේ අතින් අල්ලා ගෙන වෙස් අත්තට දකුණු පසින් ඇතුල් වී වටයක් යයි. බිසව සාරිය ඇඳ ආභරණ පැළඳ සිටියි. රජු ද මනාව සැරසී සිටියි.)
(මේ අතර වාදකයෝ තානම ගයත්. තම් දෙන තන තනම් තෙන තෙන තෙන තෙනා)
මනමේ රජුගේ කවිය
නිමලා තුනුරුවන් සරණයි සැමට මගේ
විඳලා මෙදුක යනු කවදද පුරට මගේ
නිමලා තුනුරුවන් සරණයි සැමට මගේ
ඉඳලා ගිමන් හැර යමු සිය පුරට මගේ
(මනමේ රජු බිසව අතින් ගෙන කණට කට ළංකොට යමක් කියා අත් පුටුව පෙන්නා ඒ දෙසට යමින් "ගමන් විඩාව හෙයින් ගිමන් හැර යෑම කරමු මා ප්‍රිය කාන්තාවනි" කියා ගෙන රජු හා බිසව පුටු දෙකෙහි වාඩි වෙති.)
බෙරකරු : තම් දෙන තන තනා
බිසවගේ කවිය :
තනිවුනේ මෙ අපි දෙදෙනා රුදුරු වනේ
දෙපයිනේ යන්ට වාරුව නැත ඉතිනේ
වැඩිවුනේ ක්‍ෂුධහ ගින්නය කුස තුළිනේ
මෙම වනේ ගිමන් හැර යමු හිමි සඳිනේ
ඔබ වහන්සේගේ අභිප්‍රාය ලෙස මෙහි ගිමන් හැර යාම කරමු. ආදරවන්ත හිමි තුමනි.
රජු : එසේ යහපති.
(වාදනය වන බෙර පදය අනුව වැද්දෙක් සභා ගැබට නැටුමකින් පැමිණෙයි. ඔහු අත දුන්නක් සහ ඊයක් තිබේ. දැලි අඟුරු ගා ගත් ඇඟය. වටේ ගොස් වාඩි වී සිටි රජු සහ බිසව ඉදිරියට ගොස් නැවතී, අනින්නන් කොටන්නන් මරන්නන් කියා කරළියේ ඉදිරියට ගොස් සභාවට පිටුපස හරවා රජු හා බිසව දෙස බලා ගෙන වාඩි වෙයි.)
වාදකයන්ගේ තානම :
තන තෙන තන තනතන තම් තෙනා තෙනා
ගායනය :
ගතක් කලු පාට දැලි අලුපල්ල මෙනා
යකෙක් දෝ මෙමට නොදැනෙයි රළු හඬිනා
සැකක් වුණි මසිත හිමි කුමරුනි එතැනා
මොකද්දෝ එතෙක් ඇවිදින් අර පේනා
(බෙර පදයට අනුව තවත් වැද්දෙක් පැමිණ පෙර පරිදිම අනින්නන් කොටන්නන් මරන්නන් කියා ගොස් කලින් වැද්දා නැවතුණු තැනට ගොස් එහි දණ ඇණ ගෙන දුන්න අමෝරා ගෙන සිටියි.)
