ඇහැලියගොඩ මහ වලව්ව
 

මින්පසුව අවශ්‍ය නම් මුදලි කෝලම ආදිය සබයට ගෙන්වා තවත් ජවනිකාවක් රඟ දැක්විය හැකිව තිබුණි. එහෙත් බොහෝ රාත්‍රී කාලය ගත වී ඇති හෙයින් එදිනට නියමිත මනමේ කෝලම් කතාව රඟ දැක්වීම ආරම්භ කිරීමට ආසන්නය. ඒ අය තේ පානය කොට සැරසෙන තුරු අනෙක් නළුවෝ විකට ජවනිකාවක් රඟපෑහ. ජුගුප්සාවෙන් තොරව නැරඹිය හැකි මෙම විහිළු ජවනිකා ඉතා ප්‍රාණවත් අන්දමින් ඉදිරිපත් කළ බව පැහැදිලිය. ඇහැලියගොඩ මහ වලව්වේ හාමුලා සහ ආයා අප්පුලා මුල් කර ගෙන සිදුවන කථා පුවතක් මෙහි ඉදිරිපත් වෙයි. එම කථා පුවත ඉදිරිපත් වුණු ආකාරය මෙහි සැකෙවින් දක්වාලමි.
 
 (මුලදී රංගාරම්භයේ ආ සභාපතිවරුන්ගේ ඇඳුමට සමාන ලෙස ඇඳුම් ඇඳ ගත් කථකයා සභාවට පැමිණ කතාව හඳුන්වා දෙයි. ඔහුගේ අතේ අඩි දෙක හමාරක පමණ බස්තමක් ඇත. එය දෙකෙළවරින් අල්ලා ගෙන දෙපැත්තට පාදය උස් පහත් කරවමින් ගීතය ගායනා කරයි)
 
 ලලලල ලලල ලලා /// ලලාල බිලිලේ ///
 ලල-ලල-ලලල-ලා
 රත්නපුර බලන්ගොඩ ඕපනායක වටාපොත කුරුවිට
 පරකඩුව ගැටහැත්ත
 ඇහැලියගොඩ අවිස්සාවේල්ලද පුවක්පිටිය හිඟුරුවල
 කොස්ගම පින්නවල මීගොඩ හෝමාගොඩ තලවිල
 මාලපල්ල
 කොට්ටාව පන්නිපිටිය සුන්දර මහරගම
 මෙකිව්ව ගම්වලින්-ආයල අප්පුලා කොළඹට ඇවිල්ලා
 ලොලාල බිලිලේ-ලල ලල ලලල ලා ///
 හේමපාල සුමනපාල සුගතපාල සුමතිපාල
 මෙකියන නම්වලින් ආයල අප්පුලා කොළඹ ඇවිදිල්ලා
 ලෝලාල බිලිලේ //// ලල ලල ලලල ලා-///
 රත්නපුර බලන්ගොඩ ඕපනායක
 
 (ඔහු පිටත්ව යයි. පිජාමා කලිසමක් හා කමිසයක් ඇඳගත් චරිතයක් සභාවට එයි)ඇහැලියගොඩ මහවලව්වේ පුංචි හාමු මං අම්මප ලොකු හාමු මං-අම්මප පුංචි හාමු මං ලස්ස ගණන් වස්තු තිබිල මොකද මං කළේ. පිනට දුන්නදෝ? නැහැ ඉනට ඇන්දදෝ නැහැ. බඩට කෑවදෝ නැහැ. උසාවියට කොල්ලුපිටියෙ තැබෑරුමට-රේස් පිටියෙ සූදුපොලට දන් දුන්නා මං
 
 ඇහැලියගොඩ මහ වළව්වෙ//
 
 (මුලදී කථකයා ලෙස රඟපෑ තැනැත්තා මේ වර වෙනස් භූමිකාවක් රඟපෑම සඳහා රංගයට පිවිස සිටියි. මේ වර ඇය රගන්නේ වලව්වේ මහත්මියගේ චරිතයයි.)
 
 හාමු : කතාකළේ දැන් අපේ බංගලාවට ආය කෙනෙකුත් අප්පු කෙනෙකුත් දෙන්නම ඉන්නව නේ? දැන් නෝනට සන්තෝෂයි නේද? දැන් ඔයාට වැඩ කරන්න ඕන නැහැ හැබැයි මේ ආයල අප්පුලා නවත්ත ගත්තාම බංගලාවල හුඟක් නෝන මහත්තයල සැලකිලිවන්ත වෙන්න ඕනැ. නැත්නම් එහෙම ආයල අප්පුල එකට කූට්ටු වෙලා පැනල යන්න බැරිකමක් නැහැ. අප්පු කුලප්පු වෙච්චහම ඒකයි වෙන්නේ. ගින්දරත් වෙඩි බේත් එකට ළංකළ තැනේ කොයි වෙලේ ඇවිලේද නොම දැනේ දෙවියනේ කිව්වෙ. මම යනව රස්සාවට, නෝන මහත්තය ගෙදර ඉන්නව. ආයල අප්පුලා කුමකින් කුමක් කරනවද කියල බලන එක නෝන මහත්තයට භාරයි.
 
 නෝනා : හොඳයි
 
 හාමු : හොදා තමා ඔයත් ළපටි හින්දා මම මේ තේරුම් කරල දීල යන්න හදන්නෙ. ආන්න ඒක නිසා කරන්න තියෙන වැඩ කටයුතු ගැන හෝදිසියෙන් ඉන්න ඕන. එහෙම කළොත් විතරයි අපේ නම්බුව ආරස්සා වෙන්නෙ. එහෙම නොකළොත් අපට ඉදිරියට දෝසාරෝපණ ඇති වෙනවා.
 
 නෝනා : ඒක මට තේරුණා
 
 හාමු : ඒ ටික ඔයා බාරෙ. මම යනව රස්සාවට (ඇගේ මුහුණ ගෙන සිඹිමින්) ආල වඩන මගෙ සුරතල් ටිකිරි බට්ටිගෙ හිනාව. හාහා කුසුම ඔබයි. බඹර මමයි මගෙ පැනි බෝලේ.
 
 (ඉන් පසුව ආයා සහ අප්පු පෙම් බස් දොඩන ජවනිකාවකි. දෙදෙනා පැන යති. නෝනා සිටියි. ආයා එයි. තමා අප්පු සමඟ පැන ගිය බවත් මගදී ඔහු මළ බවත් කියා ඔහු වළලා ගන්නට රුපියල් සීයක් ඉල්ලා සිටියි. නෝනා එය දී පිටත් කර හරියි.)
 
 (හාමු ද ගෙදර එයි. අප්පු හාමි හමු වී තම බිරිඳ මළ බව කියා රුපියල් දෙසීයක් ඉල්ලා සිටියි. හාමු සහ නෝනා අප්පු සමඟ කාර් එකේ නැගී පිටත්ව යති. එතනට යන විට ආයා මැරී සිටියි. හාමු අසළට වී මියගිය අයගේ හුස්ම වැටෙන බවක් කියයි. ඇය හුස්ම ගන්නට පටන් ගනියි. හාමු ආයාට සහ අප්පුට ගසා එළවීමෙන් කතාව අවසානයට පත්වෙයි.)

(c) Shilpa Sayura Foundation 2006-2017