ජස කෝලම
 

පෙර සිට පැවත එන


විලසට පොදිය බැඳ ගෙන

උර පිට තබා ගෙන


යෝද ජසයා ඒය දුව ගෙන


පිළී පොට්ටනිය ත්


උරේ දරමින් විවර ත්


අතේ සැරමිටිය ත්


මෙසේ එනු බල පේඩිරාලත්


නාද අසමින් නේ


ආද පා තබමින් නේ


බේද නොව දන් නේ


යෝද ජසයා එන්ඩ එන් නේ

(ජස කෝලම රෙදි පොට්ටනිය කරෙහි ඇතිව එක් අතකින් රෙදි කැබැල්ලක් ගෙන කරකවමින් සභාවට එන්නේ නොන්ඩි කකුල බිම අද්දවමිනි. අනත‍රුව වාදකයින්ගේ කවි තාලයට අනුව ජසයා නටයි)


මේ ගම් කුලයේ හේනේ මාමල - කොච්චර සිටියත් මම් වගෙ වෙන නැත


රජ වාසලයෙන් සළු පිළි අරගෙන - යන්නෙමි රජු වඩිනා පෙරමුණයට


දෙවනුත් මම යමි මේ පුරයේ වට - පිරුවට දී කිලුටුත් අරගන්නට


සල්ලි නොදුන්නොත් අප්පුහාමිල මට - තැබෑරුමේ තිය බොන්නෙමි රෙදි ටික


මේ පුරයේ හොර චණ්ඩි බොහොම ඇත - හැන්දෑ ජාමේ පාරෙ තැනින් තැන


නොන්ඩි උනත් මම අම්මප බය නැත - මෙන්න බලනවකො ඒවට දෙන බැට


තැබෑරුමට ගොස් අඩියක් ගහ ගෙන - එඤ්ඤ පුතා වගෙ වැනි වැනි පාරට


අපේ ගෙදර උන්දෑ දැනගත්තොත් - මගෙ මේ කෙස් ටික හිඳිනව ඇත්තට


(තොරතුරු කතාකාරයා ඉදිරියට පැමිණ 'ඕයි'කියා අමතයි. එය නෑසුණු විලාසයක් පෙන්වන ජසයා රෙදි පොට්ටනිය බිම තබා බිමට පෙරළී වාඩිවී අතෙහි තිබුණු ලේන්සුවෙන් තම පිටුපස පැත්ත දමමින්)


ආ අප්පුහාමි තානායම්පලේ නැටුවැයි?


(සබේ විදානේ) අප්පුහාමි : ඒයි ජසයා. (ජසයා හයියෙන් කෑ ගසයි)

ජසයා : මොකද නිකම් හෙණ ගැහැව්ව වගේ? ජසයා පසයා ජසයා පසයා (ප්‍රේක්ෂකයින්ට පමණක් ඇසෙන පරිදිත් අප්පුහාමිට නොඇසෙන පරිදිත්) ගහනවා පයින් බෙල්ල කැඩිල යන්න.


අප්පුහාමි : මොකද්ද යකෝ නිකන් කුණු කුණු ගාන්නේ? මට ඇහුනා බෙල්ල කැඩෙන කතාවක් කියනවා වගේ. අපි ගැහුවොත් කොහොමත් බෙල්ල කැඩිල යනවා.


ජසයා : අපේද?


අප්පුහාමි : ඔව් තොපේ මිසක් අපේද?


ජසයා : අහක බලමින් ප්‍රේක්ෂකයින්ට කියයි) ගහනවා හුලිජ්ජ බොක්ක පුපුරලා යන්න.


අප්පුහාමි : තොපිට අපි කන්නත් දීල ගෙදර ගෙනියන්නත් දෙනව නේ බොල. මම ගෙදෙට්ට කියලා තියෙන්නෙත් ආවොත් එහෙම කොස් ගෙඩියක් දෙකකුත් දෙන්නෙයි කියලත්.


ජසයා : ඒක තමයි අප්පුහාමිලාට නම්බු දුන්නාම සේරම දේවල් ගතහැකි.


අප්පුහාමි : මොකක් කිව්ව බොල. (මෙහිදී කතාකාරයාට ජසයා දෙන පිළිතුර ඉතා පක්ෂපාතීව දෙතත්, ප්‍රේක්ෂකයින්ට ඇසීමට පමණක් කියන කොටස් ඉතා අවමානාත්මකය) ජස අයියා.


ජසයා : (ප්‍රේක්ෂකයින් දෙස හැරී) මල්ලී.


අප්පුහාමි : මොකද්ද බොල තෝ කිව්වෙ? තොට පුලුවන්ද බොල මට මල්ලියේ කියන්න? තොට කියන්නෙ මම හේනෙ මාමල කියල. එතකොට තොට බෑ නෙ බොල මට බෑනයි කියන්න.


ජසයා : ඕනෑ නම් එහෙමත් කියත හැකි.

අප්පුහාමි : වැදගත් අප්පුහාමිලට කතා කරන හැටිවත් තව ඉගෙන ගන්න බැරිවෙලා.


ජසයා : අපි නොදන්නවායැ අප්පුහාමිලා නම්බුකාරයො වග. ඒක හින්දා ගෞරවයෙන් කතා කරනවා. ආයිබෝවන් ආයිබෝවන්. ආයිත් බෝවන්. ආයිත් ඕනෑ නම් බෝවන් (පොට්ටනිය තුළින් රෙද්දක් ගෙන එයින් බිම පිහදායි)


අප්පුහාමි : ඔයි මොකද බොල තෝ කරන්නේ?


ජසයා : යටහත් පහත්කමින් වැඩපල කරනවා.


(අප්පුහාමි එක එක රෙද්ද පොට්ටනිය තුළින් ගෙන බිමට දමයි. තොරතුරු කතාකාරයා බිම දැමූ රෙදි ටික පෙන්වා එයින් එක එක ගන්ට ජසයාට කියයි)


අප්පුහාමි : මේක ගන්. (එකක් දෙයි) මේකත් ගන්. (තවත් රෙද්දක් දෙයි) (ජසයා මේ දෙන එක එක රෙද්ද දකුණින් ගෙන වම් අතින් බිම තබයි. තබන්නේ අප්පුහාමිගේ රෙදි ගොඩේය. අනතුරුව ජසයා වෙස් අත්ත ළඟට ගොස් එයින් පිටත සිටින කෙනෙකුට කතා කරන විලාසයෙන් 'පුරන්සිනෝ නෝ නෝ නෝ' කියා කෑ ගසයි. පුරන්සිනෝ නෝ නෝ නෝ)


අප්පුහාමි : මොකද්ද බොල නෝ නෝ නෝ කියන්නේ?


ජසයා : නෝ කියන්නේ නැහැ. පුරන්සිනා නෝ නෝ කියන්නේ පුරන්සිනා නැහැ කියන එකයි. අප්පුහාමිලට තේරෙනව මදි නෙ.

(මෙහිදී වාදකයෝ ලෙන්චිනා සඳහා පොතේ කවි ගායනය අරඹති)


රූපා අංගයෙන් සලෙලුවන් කුල්මත්ව රාගයට පොළඹනා


දීප තුලයට වෙතින් කතෙක් නැත ලෙන්චිනා සමවනා


සෝකයෙන් තම හිමිය නොදැක ඇ බොහෝ කුල්මත් වු ගතියෙනා


සාපයෙන් කොමල වු ලෙන්චිනා සබ තුළට එන්ඩ දැන් නික්මුනා

පුංචි කාලේ සිට


වංච බස් දී තෙපුල් හිමි හිට


සංචල් නොව සිතට


ලෙන්චිනා ඒය සරඹ ගමනට


සැම තරුණන්ගෙ සිත


මවිත කරවන ලෙසින් දැන් එත


මෙබසයට දිවු නත


ඒය රුසිරෙන් දිලි පේඩි කත


මල්ල හුණු පුවකින


කොල්ලො දෙස බලා ඉඟි කරමින


කල්ල හොර මාය මින


කෙල්ල ලෙන්චින ඒය දුවගෙන


හංසයින් පරදවන පියයුරන් ළැම තුලා - අන්දමින්


මන් සිත තුටු නොවෙද දුක් මුළා


නිසිකුල සේ උනි නම් තරුණයින් එකඟිනා - මෙකත


අඩු කුලයේ උන මුන් වෙනඅතක නාරිනා


(මෙහිදී ලෙන්චිනා පමණක් නොව ඇගේ මිතුරිය වූ ජසයාගේ සොර බිරිඳ වූ පුරන්සිනා ද යන දෙදෙනාම සබාවට ආහ. චීත්තයක් හැඳ හැට්ටයෙන් සැරසී සිටින මෙම තරුණියන් දෙදෙනා ඉඟි බිඟි පාමින් සබයේ වටයක් යති.


ජසයා පසෙකට වාඩි වී තම බිරින්දන් දෙදෙනා එන මඟ දෙස බලා සබයට ඉඟි කරමින් සිටි තැනින් නැඟිට ඔවුන්ගේ ළඟට යමින් ඇඟේ හැපෙන්නට මෙන් තැත් දරයි. බිමද වැටෙයි)


පුරන්සිනා : හානේ නිකා ඉන්නකො ඔයි විදියට පනින්නයි හැපෙන්නයි ගියාම ඔයාගෙ අර අණ්ඩ වාතෙ වැඩි වේවි.


ජසයා : හපපේ උඹලා ආවෙ කොහොමද?


ලෙන්චිනා : කකුල් දෙකෙන්.

(පුරන්සිනා සහ ලෙන්චිනා දෙදෙනාම කතාවට වැටෙන කල තොරතුරු කතාකාරයා ඉදිරියට එයි)


අප්පුහාමි : ජසයා මෙහාට වර, මේ ගැහැණු දෙන්නෙක් මේ සභාවට ගෙනැල්ල මොකද්ද බොල මේ කතාව?


ජසයා : ආ සුදිය සුදිය. මේ තමයි පුරන්සිනා. නියම ගෑනි. මේ තමයි ලෙන්චිනා. ඒ හොර ගෑනි.


අපපුහාමි : මේකිගෙ අම්මලා තාත්තල එහෙම ඉන්නවද?


ජසයා : අම්මල තාත්තලගෙන් අහල තමයි ගෙනාවේ.


අප්පුහාමි : ඒක නෙමෙයි මේගොල්ලො නැටුම් ගැහුම් එහෙම දන්නවද?


ජසයා : ඒ සේරම දේවල් දන්නව. ඇනුම් පිනුම් ගැයුම් සේරම. ආව දවසේ ඉඳලම මට නිවනක් නෑ. රණ්ඩු බේරලම. ගුටිකෙළියම තමයි.


අප්පුහාමි : එහෙම නම් වැඩේ හොඳයි. අපි මේ දෙන්නට එහෙම කියල සබාව සන්තෝෂ කරන්න නැටුමක් කියමනක් එහෙම කරවලා කියවලා බලමුකෝ.


ජසයා : (පුරන්සිනාගෙන් අසයි) උඹ දෙමළ දන්නවද?


පුරන්සිනා : මොකද අනේ මම දෙමළ නොදන්නේ? අපේ ගෙදෙට්ට අල්ලපු ගෙදර දෙමළ පවුලක් හිටිය මතක නැද්ද? මම ඒ ගොල්ලන්ගෙන් නේ දෙමළ ඉගෙන ගත්තෙ.


ජසයා : අරිසි කියන්නේ මොනවටද?


පුරන්සිනා : අරිසි කියන්නේ බූරුවට


ජසයා : ඔයි හොඳට දෙමළ දන්නවා.


අප්පුහාමි : ඒකනම් පේනවා හොඳට දන්නවා.

ජසයා : නාකින්නූරු කොඤ්ඤං තාරු ඌලග්ග පෙරිය ආප්ප සින්න කුඩුක්කරදු.


පුරන්සිනා : ඒ කියන්නෙ නාකි මිනිහෙක් කලුවරේ ඉටි පන්දමක් පත්තු කරගෙන ආප්ප කන්න ගිහිල්ල කල්දේරමක වැටිල මැරුණලු.


අප්පුහාමි : මොකුත් නැහැ. හොඳට දන්නව. මේකිත් දෙමළ දන්නවද?


ලෙන්චිනා : මොකද මම දෙමළ නොදන්නේ?


(වාදකයෝ තානම අල්ලති. ලෙන්චිනා වටේ යමින් නටමින් කවි ගායනා කරයි)


මම් වගේ පේඩි කතෙක් මනා - දුටුවාද ලොවේ රුසිරෙන් දිනා


මව්පියො නිදහස් වෙන්නටා - මාව දුන්නයි නාකි වු හමෙකුටා


උන්දලාට කඹුරන්නටා මම - යැද ඉන්නෙ සුරන් හට දෙස් කොටා


වකුටු කුදේ නොන්ඩිය තියා - එති කෙතට බැඳපු ලෙස එපඹයා


රුවට කොරල හැඩි තලගොයා - හට මාව සරණ දීල මව්පියො ගියා


මගෙ හිමියා පඹයට තියා - හොර හිමි ගෙන්වා ගන්නා මෙමම්


නාකි උනත් මට කම් නැතේ - මගෙ දෝස තැනින් තැන පවසතේ


නාකි වුනත් මගෙ කම් නැතේ - මගෙ සුන්දර හිමි දැක්මට සිතේ

සාර ලෙසට මහනා මැහුම් - තව බීරලු ගොතනා පටිවලින්


නෑර ලියන් හට ඕනෑනම් - මම සුර ලෙසට දෙමි සිත ලෙසින්


ඇට දෙපටක් දෙනවයි කියා - මාව රවටාල ගියෙ අර තරුණයා


නිවසට විත් අර තරුණයා - රෙදි ගන්ට ඇවිත් කළ කවටයා


අන්න ගෙදර ඈත කෝට් සරොන් - එහෙ එන්ඩ ඕනෙ ඉරිදා උදෙන්


මෙන්න මගේ වැරදි නොගන් - මෙම සබේ සැවොම මට ආයුබෝවන්

(ජසයා මේ වන විට අතේ තිබුණු සැරයටිය ද ගෙන ලෙන්චිනා ළඟට කිට්ටු වේ. ලෙන්චිනා එකවරම අඬාගෙන වැටී හිස ජසයාගේ කරපිට තබා) 'යන්කෝ අපි ගෙදර යන්න කොලුවත් මැරුණා' (අඬන්ට හා ඉකි ගසන්ට පටන් ගනී)


ජසයා : මොකා මගේ කොලුව මළෝ. අපි නැතෝ. ඇයි බොල බේතක් හේතක් කළේ නැද්දෝ.


ලෙන්චිනා : මම දරුවා එක්ක ගියා වාද්දුවට


ජසයා : හරි හරි සාත්තුවට, සාත්තුවට ගිය හින්ද තමයි කොල්ල නැති වුණේ.


ලෙන්චිනා : (අඬන අතරම) සාත්තුවට නෙවෙයි බාන්. වාද්දුවට වාද්දුවේ වෙද ගෙදර. ඉතින් වෙද මහත්තය හිටියෙ නෑ. වෙද මහත්තයයි පුතා හිටිය එයා තමා මන් බැලුවෙ.

ජසයා : මොකද්ද බොල තොටද ලෙඩ තිබුණේ කොලුවටද? තෝ බැලුවේ මොකටද?

ලෙන්චිනා : ලොකු වෙද මහත්තය එනකන් එයා බැලුව. බලල කිවිව මම අවිවෙ කැකෑරිලා කැකෑරිලා කැකෑරිලා කිරි දීල තමයි මේක වෙලා තියෙන්නෙ කියල. හීල් දීල තමයි මේක වෙලා තියෙන්නෙ කියල. හීල් හෙවනෙ ඉඳන් බේත් ටිකක් කළාම හරි යබවයි කිව්ව. කියල මට නවතින්න කිව්ව බේත් කරන්න.

ජසයා : මොනවද බොල තෝ මේ දොඩවන්නේ? තොට බේත් දුන්නද?

ලෙන්චිනා : ඔව් සූකිරි මීපැණි වැල් මී වාලප්පලම්

ජසයා : අර පලම මේ පලම අන්තිමේදී දෙකටම පලම්.

ලෙන්චිනා : මොනවද මේ වනචර මිනිහ කියවන්නේ?

ජසයා : හරි හරි ඉතින් සීනියි මී පැණියි.

ලෙන්චිනා : සීනියි මී පැණියි මිස්සර කරන්නයි කිවුවා.

ජසයා : ඒ කියන්නෙ සීනි ඉස්සර කර මී පැණි පස්සෙට කරනවා.

ලෙන්චිනා : නෙවෙයි මනුස්සයො මිශ්‍ර කරලා.

ජසයා : දැන් ඉතින් ඒවා සේරම ඉවරයි නේ උඹල අපිල දැන් මෙතනින් පිටවෙලා යන්න ඕනි. (තිදෙනාම එක්වී නටමින් වටේ යමින් සිට සබයෙන් පිට වී යති)

(c) Shilpa Sayura Foundation 2006-2017