පොලිස් කෝලම
 

(පොලිස් මැතිවරු දෙදෙනා බැගින් සබයට දුවගෙන එති. කාකි කෝට් එකක් ද කාකි දිග කලිසමක්ද ඇඳ ගත් මොවුන්ගේ අතේ බැටන් පොල්ලක්ද ඇත. වෙස් මුහුණු පළඳිති. එහි ඉලක්කම් කිහිපයක්ද තිබේ. අම්බලන්ගොඩ කෝලම් කුට්ටම්වල ඇති 1918 යන ඉලක්කම් අර්ථවත්ය. 1915 දී අප රට සිදුවුණු මුස්ලිම්-සිංහල අරගල අවස්ථාව සහ සමකාලීන වූ ඒ අවස්ථාවෙහිදී යුද නීතිය මෙරට පනවන ලද හෙයින් පොලිසිය ගැන හැඟීමක් මහජනයාට තිබේ. හෝකන්දර කෝලම් මුහුණු පෙට්ටියේ ඇති පොලිස් කෝලම් මුහුණුවල කපා ඇත්තේ 395 යන ඉලක්කම්ය. කාකි කෝට් එකේ දෙපැත්ත එකට ඇඳාගෙන ඇත්තේ බොත්තම්වලින් නොව රෙදි කැබැල්ලකින් බැඳීමෙනි.)


(මේ හතර දෙනාම සභාවට පැමිණ නැතිවුණු යමක් සොයන විලාසයෙන් එකිනෙකාගේ ඇගේ හැපෙමින් බිම පෙරළෙමින් එහා මෙහා දුවති. පොලිස් කාරයෙකුගේ හිසට පොලු පහරක් ද වදියි. 'අටෙන්ෂන්', යන්තම් පෙළ ගැසී හමාරය. මේ වන විට එක පොලිස්කාරයෙකුගේ අත් දෙක උඩට ඔසවා ගෙනය. අනිකා ඉස්සරහට දික් කරගෙනය. අනිකා පහත දමාගෙනය. පොලු පහර දී අතින් ඇද යම්තම් හතර දෙනා කීකරු කර ගනියි. ඒ දෙස බලා පොලිස් නායකයා කෑ ගසයි. පොලිස් කොස්තාපල්වරු කල් බලති. තම සඟයන් අමතා ඔහු ඉංග්‍රීසියෙන් යමක් කියයි. ඔහු පළඳින වෙස් මුහුණු වාචිකාභිනයට මහත් බාධා ඇති කරයි. ඔහු ව්‍යවහාර කරන්නේ ද සාවද්‍ය ඉංග්‍රීසියකි. සාජන්ට් ඩිඩ් නොට් කමින් යන්නෙන් අදහස් කරන්නේ සාජන්ට් නො ආ බවද නොඑන බවද යන්න නොදනිමි. කෙසේ වුවද පොලිස් කාරයින් හතර දෙනෙකු සන්සුන් කිරීම සඳහා මෙම ඉන්ස්පැක්ටර්වරයා ගන්නා ප්‍රයත්නය ප්‍රේක්ෂකයා තුළ හාස්‍ය ඇති කරයි.)

සබේ විදානේ : මම තානායම් පොළේ වැඩකටයුතු බලා කියාගන්න මුලාදෑනියා.


පොලිස් නායක : (එකිනෙකා පෙන්වා) සාජන්ට් මේජර් බණ්ඩ මහත්තයා


(සබේ විදානේද එකිනෙකාගේ නම පොලිස් නායකයා කීවාට පසු කියා හඬ නගන්නේ පොලිස් වෙස් මුහුණින් හරි හැටි නොඇසෙන නම් සභාවට හඳුන්වා දීමට යයි සිතේ)

සබේ විදානේ : ඔයි කථා කරන්නේ ලොකු මහත්තයා


පොලිස් නායක : ඔව්


සබේ විදානේ : එතකොට මුන්නැහේලා මෙතෙන්ට ආවේ මෙතන හොඳට ආරක්ෂාව සැලසිලා තියෙනවා ද කියලා බලන්නයි.


පොලිස් නායක : ඉයස් ඉයස්


සබේ විදානේ : බොහොම සන්තෝෂයි, බොහොමත්ම සතුටුයි. බොහොම හොඳයි. අපිට එහෙම තමයි ඕන කරන්නේ දැන් මට දැනගන්න ඕන කරනව මේ මහත්වරු දන්න කියන මොනව හරි නැටුමක් තියෙනවද කියලා.


පොලිස් නායක : ඉයස් ඉයස් වෙරි මච් ඉස් දැට් කරපින්ච ඉස් දැට් චාන්ස්. ඉස්දැට් ද බයිලා ඉස් දැට් කුරුමානම්.


සබේ විදානේ : හුඟක් දේවල් දන්නවා කඩු හරඹ එහෙම දන්නවද?


(පොලිස්කාරයින් හතර දෙනා යුගල සැදී කඩුසරඹයෙහි යෙදෙති. අනතුරුව වෙස් අත්ත දෙපසින් නික්මී මඬුවට ඇතුල් වෙති.)


(පොලිස් කෝලමට පසුව සබයට එන්නේ වක්කඩපල විදානේය. මෙම භූමිකාව අම්බලන්ගොඩ සහ මිරිස්සේ කෝලම් කුට්ටම්වල දක්නට නැත. ඔහු පසුව රංග භූමියට තම බිරිඳ ද කැඳවයි. සරමක් සහ කෝට් එකක් ඇඳ රෙදි පටියක් ඉඟ බැඳ ගෙන සිටියි. දිග රැවුලක් සහිත වෙස් මුහුණක් ඇඳ අතේ බස්තම ද සහිතව එන විදානේ නටමින් කරළිය වටේ යයි. සබේ විදානේ ඔහුට ළංව වටේ කැරකෙයි. වක්කඩපල විදානේ ඔහුට අමතන්නේ ඉඤ්ජ කියාය. සබේ විදානේ ඔහුට ළංවී 'සීයෙ සීයෙ' ආමන්ත්‍රණය කරයි.)

විදානේ : ආ බොල මොකද්ද බොල සීයෙ. කෙහෙල්මල, ආබලිපියකො මේ ජෙහෙට්ටි කොල්ලන්ගේ ආඩම්බර. සීයෙ නෙවෙයි බොල දෙසීයයි. මම බොල විදානෙ මහත්තය.


සබේ විදානේ : ආ හරි මට අඳුරන්න බැරුව ගියානෙ මේ විදානෙ මහත්තය.

විදානේ : අන්න හරි බොල මිනිස්සුන්ට කතා කරන හැටි ඉස්සෙල්ලා දැනගනු. නැගපිය පුතේ මගේ කරට. අනේ පුතේ මේ පැත්තෙන් නෙගපිය (කර පහත් කරයි)


සබේ විදානේ : එච්චරටම සන්තෝෂයි.


විදානේ : කමක් නැහැ පුතේ. අනේ අම්මේ මට හරි සන්තෝෂයි.


සබේ විදානේ : ඒක නෙමෙයි මොකද මේ අමුතු විදිහකින් ඇඳන් පැළඳන්. සරම් දෙකක් ඇඳලා. හොඳ ඉණ පටියක් බැඳලා.


විදානේ : පුතා දන්නේ නැද්ද? මම මේ ළගදී පොඩි කටයුත්තක් කර ගත්ත නේ. ඇයි පුතාට ආරංචි නැද්ද?


සබේ විදානේ : නැහැ ඉතින් මනමාල මහත්තය ගැන පුරාතනේ ඉඳලා අහල කියල තියෙනව. දන්නව. නමුත් අලුත කර ගත්තු වැඩේ ගැන නම් ආරංචියක් වුණේ නැහැ.

විදානේ : ඒ නිකම් හදිස්සියේ කර ගත්තේ. ඒක හින්ද කාටවත් කියන්නවත් වෙලාවක් හම්බ වුණේ නැහැ. පුතාල දන්නවනෙ මගේ වැඩවල හැටි.


සබේ විදානේ : කොහෙන්ද ඔය දීගෙ කරගත්තේ.


විදානේ : මේ කඩිත්තෙන්.


සබේ විදානේ : මනමාල මහත්තය මේ වක්කඩපල නේ?


විදානේ : ඉතින් හරියටම ගැළපෙනව නේ වක්කඩ කැඩුනහම කඩිත්ත තමයි.

සබේ විදානේ : ඉතින් අපි තවම දැක්කෙ නැහැනෙ. මනමාලි අපිට පෙන්නන්න ඕන.

විදානේ : අනේ පුතේ මනමාලි ගේන්නම ඕනෑද?


විදානේ : එහෙමත් අහනව මේ මනමාලි බලා කියාගන්න තමයි, මේ මුළු මහා සභාවට රැස් වෙලා ඉන්නේ.


විදානේ : ඒකත් එහෙමද?. එහෙනම් මේ සේරම ලයිට් නිවන්න ඕන

විදානේ : ඒ මොකටද?


විදානේ : ඒ තරම්ම එළියයි. දැන් ගෙදෙට්ට ගෙනාපු දවසේ ඉඳලම මම ගෙදෙට්ට භූමිතෙල් ගෙනාවෙ නැහැ. එක අතකින් පුතේ මේ දීගේ කර ගත්තු එක හොඳට ගියා. නැත්නම් දැන් ඊයේ ද කොහෙද ඉඳලා භූමිතෙලුත් මිළ නැග්ග නේ. මට නම් කිසිම අමාරුවක් නැහැ. මොකද එයා ගෙනා දවසේ ඉඳලා ලාම්පු පත්තු කරන්නෙ නෑ අපේ ගෙදර.


සබේ විදානේ : අපි බලා ඉඳලා සන්තෝෂ වුනාම ලයිට් නිවන්නම්.


විදානේ : ඒ කිවුවෙ මම කිව්ව විදිහට එළිය තියෙනව නම්. (වක්කඩපල විදානේ වෙස් අත්ත ළඟට ගොස් මඬුව දෙස බලමින් "කිරිහාමිලගෙ අම්මෙ" කියමින් කෑ ගසයි. තවත් සැරයක් කතා කරයි. ඊළඟ වතාවේ ඊටත් වඩා හයියෙන් අමතයි)

(මඬුව දෙසින්) : මොකද අනේ මට කතා කරන්නේ?.


විදානේ : (සබේ විදානෙට) පුතාට ඇහුනද ඒ මිහිරි නාදේ?


(මඬුව දෙසට) - මෙහෙ වරෙල්ලකෝ.


(මඬුව තුළින්) : කෝ මගේ හාරිච්චිය.


විදානේ : හාරිච්චියද? ඒක මං ගහේ බැන්ඳා.


(මඬුව තුළින්) : ඇට දෙපොට කෝ?.


විදානේ : ඇට දෙපොටද?. ඒක ලුනු පොල් කට්ටේ ඇති.


(මඬුව තුළින්) : වළලු දෙක කෝ?.


විදානේ : වළලු දෙක ද? අන්න අරූ පොල් ගහට නගින්නයි කියලා අරන් ගියා.


සබේ විදානේ : ඕව කවදාවත් මනමාල මහත්තයෝ හොරුගන්න බඩු නොවෙයි නෙ.


විදානේ : මෙහෙ වරෙල්ලකෝ බුදු අම්මේ.


(ස්ත්‍රී විලාසයෙන් සැරසී ඉතා තද දුඹුරු පාටැති වෙස් මුහුණක් පැළඳ ගත් ඇය සබයට පැමිණෙයි)


සබේ විදානේ : මනමාල මහත්තයා ලයිට් නිව්ව නම් මරු එකට හිටීවි. ඔයි හොඳට තියෙන්නේ. එළිය ටික කලුවර පෝය දවසේ වගේ.


විදානේ : ඇයි පුතේ ලස්සන නැද්ද?


මනමාලි : මන් වැඩක් කර කර ඉඳලයි ආවේ. මට යන්න ඕන.


විදානේ : යනවා නම් මට තොත්තුවක් දීල යන්න. (දෙදෙනා මුහුණු සිපගනිති. මනමාලිය පිටත්ව වෙස් අත්තෙන් ඇතුළට යයි.)


සබේ විදානේ : දැන් ඉතින් අපි කැමතියි දැනගන්න මනමාල මහත්තයා සින්දු එහෙම දන්නවද කියල. එහෙම දන්නව නම් එකක් දෙකක් කියලා නටල යන එක හොඳයි.


(විදානේ සින්දුවක් කියා නටා සබයෙන් පිටත් වෙයි. වාදකයෝ රාත්‍රී 9.30 ට හේවා කෝලමට අඬ ගහන පොතේ කවි කීපය කීම ආරම්භ කරති.)


තෙනම් තෙන තම් තෙනෙන තෙන තෙන
තෙන තම් තෙන තෙනා තෙනෙනා තිනා තෙනින තෙන තෙනා

(c) Shilpa Sayura Foundation 2006-2017