(සභාපතිවරු සබයට එන්ට පිටත් වෙති. මේ භූමිකාවන් රඟන දෙදෙනා රතු පාට සහ රෝස පාට දිගු ලෝගු දෙකක් ඇඳ ඉණෙහි රතු පාට රෙදි පටියක් බැඳ ගනිති. මුහුණෙහි ඉතා තදින් සුදුපාට පුයර අතුල්ලා ඇත. අතෙහි අඩි දෙක හමාරක පමණ දිග ලී කෝටු දෙකකි. එය දෙකෙළවරින් අල්ලා ගෙන දෙදෙනාම ගමන් තාලයකට සභාවට එති. පැමිණ වෙස් අත්ත ඉදිරියේ සිට ගෙන ගායනාව ආරම්භ කරති. මේ පිරිස කවුරුන්දැයි ප්‍රේක්ෂකයන්ට හඳුන්වා දීමට තොරතුරු කථා කාරයා නමින් ඔත්තාර් පර්ටෝල්ඩ් විසින් හඳුන්වන ලද සබේ විදාන හෙවත් කාරියකරවන රාළ නම් විස්තර කථකයාද රංග භූමියට ප්‍රවේශ වෙයි. සභාපතිවරුන්ගේ මෙම ගීතය සහ විස්තර කථනය මෙසේය.)
අප වෙත කෝල නොම ගෙනා// මෙම රාත්‍රියේ නිමල්//
සැමා තුට වඩනුය-සිරිසාරතුංග චරිත
ආවෙමු අපි දෙදෙනා-පානෙමු රඟ තුටිනා-දෝස නොම ගෙනා
(සබේ විදානේ සභා ගත වෙයි. ඔහු සභාපතිවරුන් දෙදෙනා ඉදිරියට ගොස් අතට අත දී ආචාර කරයි.)
සබේ විදානේ : පළමුවෙන්ම මම තමුන්නාන්සේලාට ආයුබෝවන්ඩ කියලා කතා කළේ මේ වගේ සභාවලට පැමිණියාම චාරිත්‍රයක් හැටියට ඒ එන උදවිය පිළිඅරගෙන කතා බහ කරන්න මාව පත් කරලා තියෙනවා. හැබැයි මේ සීමාවට විතරයි. (රංග භූමිය වටේ අත යවා එකී සීමාව පෙන්වයි)
සභාපතිවරු : දැන ගත්ත එක බොහොම සංතෝෂය
සබේ විදානේ : මේක විශාල සභාවක්. මේ සභාවෙන් වචනයක් අවසරයක් ගන්න ඕන කරනවා.
සභාපතිවරු : නෝනාවරුනි, මහත්වරුනි, අපි අද දින තමුන්නාන්සේලා ඉදිරියෙහි රඟ දක්වන්නා වූ මෙම පැරණි කෝලම් නාට්‍ය කලාවේ ඉතා වැදගත් කථාන්තරයක් වූ මනමේ කතාව කරගෙන යද්දී කිසියම් වරදක් පේනවා නම් ඒවා සියල්ලම කිරෙන් දියර වෙන් කර ගන්නවා වගේම තමුන්නාන්සේලා නරඹලා පින් අනුමෝදන් වෙන්නය කියලා අපි තමුන්නාන්සේලාගෙන් කරුණාවෙන් ඉල්ලනවා. එහෙම හිතා ගෙන අපි තමුන්නාන්සේලාගෙන් ප්‍රීති ඝෝෂාවක් පවත්වන්නය කියල ඉල්ලනවා (සභාවෙන් මහත් අත්පොළොසන් නාදයක් නැඟෙයි)
සබේ විදානේ : හොඳ ප්‍රීති ඝෝෂාවක් නම් ලැබුණා. සභාවෙනුත් අවසරයක් ලැබුණා. දැන් ඉතින් රඟ දක්වන්න යන්නෙ මොකද්ද කියලත් දැනගන්න එපායැ.
සභාපතිවරු : ඔව්.ඔව්. මේ රඟ දක්වන්නේ අපේ මේ සිංහල නාට්‍ය කලාවේ මූලිකම ස්ථානයක් වු කෝලම් නාට්‍යයි. අද අපේ රටෙන් මේවා තුරන් වේගෙන යන මේ අවස්ථාවේ යාන්තම් මේවා රැකගෙන අපි මේ අවස්ථාවේදී මේ මහත්වරුන්ගේ ආරාධනාව උඩ බොහොම ඈතකින් අද ජීවත්ව ඉන්න ඉතාම දක්ෂ නළුවො කණ්ඩායමක් මේ ස්ථානයට කැඳවලා අරන් ආවා. ඒ මනමේ නාට්‍යයම දක්වන්නේ එයින් විශේෂ ආදර්ශ රාශියක් ගන්න පුලුවන් නිසයි. ඒ දක්වන නාට්‍යයේදී මනමේ කුමාරයා වැදි රජු ආදි පිරිසක් සමග මේ ස්ථානයට පැමිණෙනවා. ඒ පැමිණෙන සියලු දෙනාම සභාවේ සියලු දෙනාගෙන්ම ආශිර්වාදය ලැබෙන්න ඕනෑ.
සබේ විදානේ : අපි ඒ සේරම චාරිත්‍රානුකූලව ඉෂ්ඨ කරනවා. ඒ අය නියම විදියට පිළිගන්නවා. උඩට උඩුවියන් බැඳලා ධජ බැඳලා-පයට පාවඩ යන සේරම ලේස්ති කරලා අපි මේ සූදානම් වෙලා ඉන්නේ. ඒ වගේම මට දන්නවල තියෙනව යම්කිසි කෙනෙක් මේ සභාවට පැමිණුනොත් ඒ පැමිණි අය නිකම් අරින්න එපයි කියල. තමන් දන්න යම්කිසි කියමනක් නැත්නම් නැටුමකින් ප්‍රීති ඝෝෂාවක් පවත්වලා ඒ අයට සන්තෝෂ වෙන්න අවස්ථාවක් ලබල දෙන්න ඕන.
සභාපතිවරු එක්ව ගයති :
ස්තුති වේ මේ සභාවේ මහතුන් හටා
නෝනාවරුන්ද මේ නෘත්‍ය බලනා සැමටායම්
දෝසයක් ඇතත් අපේ ඒ නොගන්නා මෙන්
පේවී තුමන්ගෙන් යදිමු බැති සිතින්
(මේ ගීතයෙහි සැම පාදයක්ම දෙවරක් ගයන අතරම මුළු ගීතයම තුන් වරක් ගයති.)
(මේ අතර මඩුව තුළ නළුවෝ හතර දෙනෙක් පොලිස් කෝලම සඳහා මුහුණු බැඳ ගෙන සූදානම් වෙති. සභාපතිවරු සබයෙන් පිටත් වී යති. ඒ සමඟම බෙර වාදකයෝ පොලිස් කෝලමට නියමිත පොතේ කවි සහ තානම ගායනය ආරම්භ කරති.)
ආඥා පනත ට
වැඩක් ලැබගෙන පෙර සිට
රාජකාරියක ට
පෝලිස් මැතිවරු ඒය සබය ට
මැලිස් නොම දන්නේ
පොලිස් පොල්ලද අතට ගන්නේ
ලෙසින් පවසන් නේ
මෙදැන් සබයට එන්ට එන්නේ
මිනිසුන් දුටු කලට
සරොසින් බලති වටපිට
සණ්ඩු සරුවල් කොට
පොලිස් සිව්දෙන ඒය සබයට
නොගෙන කුළුණෙන් අප වෙත
සතොස් වඩමින් සිත
අපට අවසර ලැබෙනු යහපත
තෙන තෙන් තෙනින තෙන තෙනිනම් තෙනින තෙන
