04 කොටස
 

අඟුරු හුණු කැටගෙන
විහිලු නො ලියනු තැන තැන
බිත්ති කණු කිසි තැන
යමක්‌ නො ලියනු අයුතු විලසින

අඟුරුවලින් හෝ හුණු කැටවලින් තැන් තැන්වල විහිලු දෑ නො ලියන්න. බිත්තිවල හෝ කණුවල හෝ කිසි ම තැනක අයුතු ලෙසින් කිසිවක්‌ නො ලියන්න.


 

ගුරු බස සැබෑමය
එය පිළිගැනුම යුතුමය
පඬි බසත් එයමය
එයින් දොලොවෙහි මහත් සැපමය

ගුරුවරුන්ගේ වචනය සත්‍යක්‌ ම වේ. එය පිළිගැනීම යුතුකම යි. පඬි වදනක්‌ එය ම වේ. එයින් දොලොව මහත් වූ සැප ම ලැබේ.

ගුරුවරු කිසිම විට
සතුටු නොම වෙති තැලුමට
හොඳින් එය සිහි කොට
වැර නො කරන් තැළුම්කෑමට

ගුරුවරු කිසිසෙත් දඬුවම් කිරීමට සතුටු නො වෙති. ඒ බව හොඳින් සිහි කොට දඬුවම් කිරීමට සිදු වන වැරදි නො කරන්න.

තක්‌කඩි කම්කළොත්
දඬුවම් දෙති සැකනැත්
දඬුවම් නුදුන්නොත්
ළමයි කිසිකල හොඳින් නො හැදෙත්

තක්‌කඩි වැඩ කළ හොත් දඬුවම් ලැබෙන බවට සැක නැත. දඬුවම් නො කළ විට ළමයි කිසි දිනක යහපත් ලෙස නො හැදෙත්.

වැරදි කළ අය හට
දඬුවම් දෙන්නෙ හැදුමට
හැදෙන අය එම විට
හොඳින් කීකරු වෙති සැම විට

වැරදි කළවුනට දඬුවම් කරනුයේ ඔවුන් යහපතෙහි පිහිටවීමට යි. එවිට හොඳින් හැදෙන ළමයි අවනත ව කීකරු වෙති.


ඉර උදාවෙන්නට
පළමුව නැගිට සිහිකොට
අලසකම් දුරුකොට
කරන් වැඩ පල දියුණු වන්නට

ඉර උදාවන්නට කලින් නැගිට සිහිකල්පනාවෙන් යුතු ව කම්මැලිකම හැර, දියුණුව සඳහා වැඩෙහි යෙදෙන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017