03 කොටස
 

දනන් නිති ගැවසෙන
තැනින් කුඩඉසලාගෙන
සැරෙන් බස්‌ කියන
ගමන් නොකරන් උඩගුවිලසින

ජනයා නිරන්තරයෙන් ගැවසෙන ස්‌ථානවලින් කුඩ ඉසලා ගෙන, සැරෙන් කථා බස්‌ කරන් උඩගු ලෙස ගමන් නො කරන්න.

පාරේ යන එනවිට
අයින් වීමෙන් දකුණට
දුව පැන දග නොකොට
ගමන් කළ යුතුය කී හැම විට

පාරේ යන එන අවස්‌ථාවලදී දුව පැන දග නො කරමින් දකුණු පැත්තට අයත් වී හැම විට ම ගමන් කළ යුතු යැයි කියා තිබේ.


 

 

යම් කිසි ගෙදරකට
ගිය කල ඕනෑකමකට
ඔවුන් නොම දැක ගෙට
ඇතුල් නොමවන් නොහොබිසිරිතට

ඔබ කිසියම් නිවසක ඕනෑකමක්‌ සඳහා ගිය විටක ඔවුන් (ඔබ) නුදුටුවේ නම් ගෙට ඇතුලු නො වන්න. එය සිරිතට නො හොබි.

සූදු කෙළිපලකට
කොලහල කෙරෙන තැනකට
තැබෑරුම්පලකට
යාම හොඳ නැත බලා ඉඳුමට

සුදු කෙළින තැනකට, කෝලාහල කරන තැනකට, තැබෑරුම් පළකට බලා හිදීමට වත් යාම සුදුසු නො වේ.

නාඩගම්බැලුමට
රිහි කෝලම් බැලුමට
යක්‌ තොවිල් බැලුමට
නො යන් නොහොබින එවැනි තැනකට

නොහබින තැනක නාඩගම් විහිලු කෝල ම්, යක්‌ තොවිල් වැනි දේ පැවැත්වෙන විට බැලීමට නොයන්න.

අව්වෙහි ගොසින් වත්
සෙල්ලම් කිමෙන් වත්
වෙහෙස වීසිටියොත්
නො බොනු ඇල්
දිය තිබහ තිබුනත්

අව්වෙහි ගමන් කිරීම නිසා හෝ සෙල්ලම් කිරීම නිසා හෝ වෙහෙස වී සිටියොත් එවැනි විටක පිපාසය ඇතත් (එක්‌ වර) ඇල් දිය නො බොන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017