එළු බලු යාළුකම වගෙයි
 

කියමන : එළු බලු යාළුකම වගෙයි.
තේරුම : ගතිපැවතුම් වෙනස්‌ දෙදෙනෙකු එක්‌ව ඔවුනොවුන්ගේ වාසිය සලසාගනිමින් එකට වැඩ කිරීම.

අතීත කතාව - පෙර කාලෙක මියුලු නුවර වේදේහ රජුගේ මාලිගාවට අයත් භුමියේ එළුවෙක්‌ හා බල්ලෙක්‌ වාසය කළහ. එළුවා දිවි පෙවෙත රැක ගත්තේ අශ්වගාලේ අසුන්ට දෙන තණකොල සොරා කෑමෙනි.

එහෙත්, එළුවා අශ්වගාලට යනු දුටුවොත් එහි මුරකරුවාගෙන් නොවරදවාම පහර කෑමට සිදුවිය. බල්ලාද මුළුතැන්ගෙට රිංගා බඩකට පුරා මස්‌ මාංශ ආහාරයට ගත්තත්, ඌටද අරක්‌කැමියාගෙන් පහර කෑමට සිදුවිය. දිනක්‌ බල්ලාත්, එළුවාත් දෙදෙනාම මෙසේ පහර කා පැමිණ තාප්පයක්‌ අසළ වැති සිටියහ.

එළුවෙකු හා බල්ලෙකු අතර කවර දිනකවත් විශේෂ මිතුරු දමක්‌ ඇතිවන්නේ නැතිමුත්, ඔවුන් එදා ඔවුනොවුන්ගේ ජීවිකාව ගෙනයන ක්‍රමයක්‌ ගැන සාකච්ඡා කළහ.

එළුවා මුළුතැන්ගෙට ගොස්‌ මස්‌ කැබැල්ලක්‌ ගෙනවිත් දීමටත්, බල්ලා අශ්වගාලට රිංගා තණකොළ ගෙන ඒමටත් මේ අනුව දෙදෙනා ගිවිස ගත්හ. එළුවා මස්‌ නොකන නිසා අරක්‌කැමියා එළුවාව සැක නොකළ අතර, බල්ලා තණ නොකන නිසා අස්‌හලයා බල්ලා සැක නොකළේය.

(c) Shilpa Sayura Foundation 2006-2017