කියමන : පේරැස් මුදු පේනවාද කාලකණ්‌නියාට.
තේරුම : දියුණුවක් නැති මිනිසාට මොනවා කළත් දියුණුවක් නැත.
අතීත කතාව - පෙර එක් කාලෙක රජ කෙනෙකුගේ සහෝදරයෙක් ඒ රටේම සිඟමන් යදිමින් දිවිගෙවීය. මොහු සිඟමනෙන් වලක්‌වාලීමට රජු කොතෙක් උත්සාහ කළද එය සාර්ථක නොවීය. රජුට උවමනාවක් තිබේනම් මේ සහෝදරයා වාසනාවන්තයෙකු කළ හැකියි, එක් ඇමතිවරයෙක් රජුට චෝදනා කළ විට රජු තමාගේ පේරැස් මුද්ද ගලවා එය ඇමතියා අතට දී මේ මුදුව සහෝදරයාට හසුවන සේ ඔහු එන මගට දමන්නැයි කීය.
මේ සිඟන්නා දිනක් පාරේ එනවිට ඔහුට හසුවන සේ පාර මැද මුදුව තැබූ ඇමතියා අසල වන ලැහැබක සැඟව බලා සිටියේය. මග දිගේ ඉදිරියට එමින් සිටි සිඟන්නා පාර මැද නැවතී මෙසේ සිතුවේය.
"අද මම පුරුදුවෙන්නත් එක්‌ක ඇස් පියාගෙන යන්න ඕනෙ. බැරිවෙලාවත් ඇස් නොපෙනී ගිය දාකට යන්න මේ විදිහට පුරුදුවෙලා ඉන්න එක හොදයි..." මෙසේ කියා දෑස් පියාගෙන පේරැස් මුදුවද පසුකරගෙන ගියේය.
සිඟන්නා ගිය පසු මුදුව අතට ගත් ඇමති, එය ගෙනගොස් රජුට දී සිද්ධිය සැලකර සිටියේය. එය ඇසූ රජු පැවසුවේ මෙවැන්නකි. "පේරැස් මුදු පේනවද කාලකණ්‌නියාට?"