සදාචාරාත්මක උපායමාර්ගික කළමනාකරණය
  Ethical Strategic Management

තීරණ ගැනීමේ දී සහ හැසිරීමේ දී මඟ පෙන්වනු ලබන සහ සංවිධාන විසින් අනුගමනය කළ යුතු මූලධර්ම ව්‍යාපාරික ආචාරධර්ම (Business Ethies) ලෙස නිර්වචනය කළ හැකිය. හොඳ උපායමාර්ගික කළමනාකරණයක් සඳහා හොඳ ව්‍යාපාරික ආචාරධර්ම අත්‍යවශ්‍ය අංගයකි. සංවිධානයක් තුළ උසස් ව්‍යාපාරික ආචාරධර්ම ඇති කොට පවත්වා ගෙන යන බැව් මූලික ව ම එහි උපායමාර්ගඥයන් විසින් තහවුරු කළ යුතුය. සංවිධානයකට අදාළ උපායමාර්ගය ගොඩනැගීම, ක්‍රියාත්මක කිරීම, සහ ඇගයීම යන සමස්ත උපායමාරිගික ක්‍රියාවලිය තුළ ව්‍යාපාරික ආචාරධර්ම භාවිතා කිරීම වැදගත්ය.

අද බොහෝ රාජ්‍ය සහ පෞද්ගලික සංවිධාන දෙවර්ගය විසින් නීති විරෝධි ලෙස සහ සදාචාරාත්මක නොවන ලෙස ව්‍යාපාරික කටයුතුවල නිරත වන බැව් පෙනේ. මෙවැනි බොහෝ සංවිධාන අද ස්වභාවික පරිසරයට හානිදායක වන පරිදි කටයුතු කරයි. මේ නිසා, මෙවැනි සංවිධානවල කළමනාකරුවන් සහ සේවකයන් දෙපාර්ශවයම පාරිසරික දූෂණ ගැටළුවට වගකිව යුතු වේ.

ආයතනික ප්‍රතිපත්තීන් ව්‍යාපාරික ආචාරධර්ම ඉස්මතු වන ආකාරයට සකස් කරන්නේ නම්, ආයතනික සාමාජිකයන් ඒවාට අනුකූලව හැසිරීමට පෙළඹේ. අන්තර්ජාලය භාවිතයට පැමිණීමත් සමඟ රැකියා ස්ථානය තුළ විවිධාකාරයේ සදාචාරාත්මක ගැටළු අද නිර්මාණය කොට තිබේ. විශේෂයෙන්ම, විද්‍යූත් වාණිජ කටයුතුවලදී බහුල වශයෙන් මෙවැනි සදාචාරාත්මක ගැටළු පැන නගී. විවෘත ප්‍රචාරණය, පුද්ගලික තොරතුරු විකෘති කිරීම, පුද්ගලයන්ගේ අත්සන් ව්‍යාජ ලෙස ඉදිරිපත් කිරීම, අසභ්‍ය තොරතුරු සන්නිවේදනය, සේවක අක්‍රමිකතා, ලිංගික බලපෑම්, අපරාධ, වංචාවන්, සොරකම්, අනුකරණයන් යනාදිය විද්‍යූත් වාණිජ්‍යය හෝ අන්තර්ජාල භාවිතයන් නිසා මතු වන ආචාරධර්ම ගැටළු කිහිපයකි. අන්තර්ජාලය භාවිතා කිරීම සම්බන්ධයෙන් විශ්චීය වශයෙන් පිළිගත් ප්‍රමිතීන් සහ ශිල්පක්‍රම හඳුන්වා දීමෙන් මෙවැනි ගැටළු බොහෝමයක් මඟ හරවා ගත හැකි වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017